රැකියාවෙන් ලැබූ මාසික වැටුප සතියෙන් හම්බ කරන්න පුළුවන් වුණා

දෙසැම්බර් 2, 2020

විලාසිතා කියූ සැණින් බොහෝ දෙනකුට සිහියට එන්නේ යුවතියන් සහ කාන්තාවන්. ඒ ඔවුන් විලාසිතා කෙරෙහි ඒ තරම්ම උනන්දු නිසාය. ඇඳුම පැලඳුමේ සිට ඇය භාවිත කරන ඕනෑම දෙයක් විලාසිතාවක් අනුව කරන්නට කැමැතිය.

ඇසුරු සැණින් විලාසිතා වෙනස් වන්නේ ඒතරමටම අද ලෝකයේ විලාසිතා, මෝස්තර නිර්මාණය වන හෙයිනි. කාන්තාවන්ට අත්බෑගය නැතිවම බැරි දෙයකි. ගමනක් බිමනක් යන විට ඇයට අවශ්‍ය සියල්ල ගෙන යාමට අත් බෑගය අත්‍යවශ්‍ය නිසාය. මේ නිසා කාන්තා අත් බෑගය නැතිනම් හෑන්ඩ් බෑගය ද විලාසිතා නිර්මාණය කරන්නෝ නිරන්තරයෙන් වෙනස් කරමින් කාලයේ තාලයට නිර්මාණය කරන්නට උනන්දු වෙති. විශේෂයෙන් කාර්යාලයට යන තරුණියන් ඇඳුමේ වර්ණයට ගැළපෙන්නත් මංගල උත්සවවලට යන අය තමන්ගේ සාරි විලාසිතාවට සරිලන ලෙසත් අත් බෑග් ගෙනයන්න උනන්දු වෙයි. මේ නිසා වර්තමානයේ අත් බෑග්වලට ඉහළ ඉල්ලුමක් පවතියි.

කාන්තාවන්ට අත්‍යවශ්‍ය වන දෙයක් වන හෑන්ඩ් බෑගය මසා නිම කරන්නට මැහුම් ගෙතුම් කෙරෙහි හැකියාව ඇති කාන්තාවකට හෝ යුවතියකට වැඩි වෙහෙසෙක් ගත යුතු නැත. එලෙස ඒවා මැසීමට දන්නා කෙනකුට තම නිර්මාණශීලී බව තුළින් විවිධ විලාසිතාවලට ගැළපෙන ලෙස ඒවා නිර්මාණය කිරීම ද එතරම් අමාරු නැත. අවශ්‍ය වන්නේ උත්සාහයත්, උනන්දුවත්, කැපවීමත්, නිර්මාණශීලී ලෙස සිතීමත් පමණි.

කොරෝනා වෛරසය ලෝකයම වෙලා ගනිද්දී එය අපේ රටේ ජන ජීවිතයට ද මරු පහරක් එල්ල කර තිබේ. මෙයින් බොහෝ දෙනකුට තමන් කළ ස්වයං රැකියාව කරගන්නට නො හැකිවිණි. එහෙත් ඒ අවස්ථාව ආශීර්වාදයක් කර ගනිමින් තම නිෂ්පාදන අන්තර්ජාලය හරහා අලෙවි කරන්නට අවස්ථාව සලසා ගත් බොහෝ පිරිසක් සිටිති. අද දිරියට සවියක් තුළින් ඔබට කියන්නේ එවැනි නිර්මාණශීලී යුවතියක ගැනයි.

ආර්ථික විද්‍යා න්‍යාය වන්නේ ඉල්ලුමට අනුව සැපයුමයි. ඇය සිතාරා ප්‍රසාදි. අංක 201/8/ච් පෙලෙන්ගස්තුඩුව පාර, බොරැල්ල පදිංචි ඇය අද කාලයේ අවශ්‍යතාව හඳුනාගත් තරුණියකි. ඒ අනුව ඇය අන්තර්ජාලය මඟින් ඉස්තරම්, නවීන මෝස්තර සහිත බෑග් අලෙවි කිරීම සිදු කරනු ලැබේ. බියුටි හවුස් නමින් ඇරැඹු එම ව්‍යාපාරය වටා අද වන විට පාරිභෝගිකයන් ජාලයක් එකතු වී ඇත. ඉතාමත් අඩු වයසකදී ඇය විසින් සිදු කරන මේ ව්‍යාපාරය බෙහෙවින්ම වටින්නේ ඒ අයත් අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බැවිනි.

උත්සාහය ගන්න ඔබත් අදම නිකරුණේ කාලය මිඩංගු නොකර යම් මුදලක් ඉපයීමටත් ඒ තුළින් ඔබටත්, රටටත් යහපතක් වන පරිදි කාන්තා ඔබට ඉතාමත් දක්ෂ ව්‍යවසායිකාවක් විය හැකියි. අවශ්‍ය වන්නේ ඒ සඳහා යොමු වීමක්, සාර්ථක පවත්වාගෙන යාමත් ය.

සිතාරාගේ කතාවට තරුණී පත් ඉරුවක් වෙන්වන්නේ නිර්මාණශීලී හැකියාවකින් යුතුව එහෙත් එය ස්වයං රැකියාවක් බවට පත්කරගන්නා අකාරය පිළිබඳව සිතා ගත නොහැකිව කල්පනා කරන කාන්තා පරපුර වෙනුවෙනි. ඇයගේ අදහස වූයේ තව කෙනකුට යටත්ව රැකියාවක් කරනවාට වඩා තමන්ගෙම ස්වයං රැකියාවක් කිරීම. ආත්ම විශ්වාසය ඇති කරන බවයි.

" කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මා දියණිවරුන් දෙදෙනකු සිටින පවුලක බාල දියණියයි. ඒ නිසා අම්මා තාත්තා සහ අක්කාගේ ආදරය නොඅඩුව ලැබුණා. දැන් මගේ සොයුරිය විවාහ වී අනුරාධපුරයේ පදිංචියි. මගේ සියලු අවශ්‍යතා අම්මා, තාත්තා ඉටු කර දෙන නිසා මට රැකියාවක් කරන්න හෝ මුදල් හම්බකරන්න වෙහෙසෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒත් එහෙම නිකරුණේ ගෙදරට වෙලා ඉන්න එක අපේ යුතුකම නොවෙයි. පාසලෙන් සමුගත්තාට පසුව මම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක හෙද නිළධාරීනියක ලෙස සේවය කළා. එම ස්ථානයට පැමිණි අයෙක් රූපලාවණ්‍ය නිෂ්පාදන විකිණීමේ පුංචි ව්‍යාපාරයකට සම්බන්ධවීමට මට ඇරැයුම් කළා. එය එතරම් වෙහෙස වෙලා කළ යුතු එකක් නොවුණු නිසා වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන අතරතුරම එම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියත් මා කළා. එහිදී එතෙක් ලැබූ මාසික වැටුපට වඩා වැඩි මුදලක් මට සති දෙකකින් ලැබුණා. මුල්ම රූපලාවණ්‍ය නිෂ්පාදනය අලෙවියෙන් රුපියල් 300ක ලාභයක් තිබුණා. එය පුංචි මුදලක් වුණත් මේ විදියට ටික කාලයක් කරගෙන යද්දී, අලෙවිය වැඩි කරගන්නත් ඒ තුළින් වැඩි ලාභයක් ලබා ගන්නත් මට පුළුවන් වුණා. ව්‍යාපාරයකටම යොමු වුණා නම් හොඳයි කියලා මට සිතුණේ මේ නිසා.

ඒ අනුව මම දන්න කියන තැනකින් බෑග් කීපයක් මිලදී ගෙන ඒවා අන්තර්ජාලය මඟින් අලෙවි කළා. සතුටුදායි ප්‍රතිඵලයක් ලැබුණා. දැන් මම ' බියුටි හවුස් ' නමින් නවීන බෑග් විලාසිතා අලෙවිය ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා අපේ රටේම නිෂ්පාදිත බෑග් පමණක් අලෙවි කිරීමට තීරණය කළා. එය දේශීය නිෂ්පාදකයාට අතදීමක්. ඒ අනුව රත්නපුර, නුවර වගේ ප්‍රදේශවලින් නිෂ්පාදිත නවීන පන්නයේ මෝස්තර රැගත් ඕනෑම වර්ණයක විවිධ ප්‍රමාණයන්හි බෑග් මා අලෙවි කරනවා. පාරිභෝගිකයා රටේ කුමන තැනක සිටියත් වගකීමෙන් එම ඇණවුම ඔවුනට ලබා දීම සිදු කරනවා. ඒ සඳහා තවත් සේවක පිරිසක් මා වටා සිටිනවා.

තරුණී කියවන ඔබට පුංචි පණිවුඩයක් දෙන්නම්. ආර්ථික පහසුකම් ඔබට තිබුණත් මුදලක් ඉපයීමට කුමන හෝ යහපත් කාර්යයන් සිදු කරන්න. එය ඔබේ දිවියට ආශීර්වාදයකි. ඔබ කරන්න ඕනේ ටිකක් කල්පනා කිරීම පමණයි. කාන්තාවන් ලෙස අපට විවිධ හැකිවන් තිබෙනවා. ඒවා කාලයට ගැළපෙන ලෙස නිර්මාණශීලී ලෙස බුද්ධිමත්ව යෙදවුවොත් ඒ තුළින් සාර්ථක ප්‍රතිපල ගත හැකියි.‘‘

අන්තර්ජාලයේ සැරිසරන ඇතැම් තරුණියන් ජීවත විනාශ කර ගන්නා කාලයක ඇය එමඟින් තම ජීවිතය ගොඩනගා ගෙන තිබේ. එය සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයකි.

නුදුරු දිනයකදී තමන්ගේම කියා ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීම ඇගේ අරමුණයි.