මුලින් ම හැදුවේ හොඳම යාළුවාගෙ මංගල කේක් එක

අද මම සාර්ථක ව්‍යවසායිකාවක්
ජනවාරි 6, 2021

කේක් නිර්මාණ ශිල්පිනී

සර්වදර්ශනී

විටෙක ඇය මවකි. සොයුරියකි. බිරියකි. තවත් විටෙක සමාජ සේවිකාවකි. මේ සියලු භූමිකා හමුවේ ඇය දිරිය ගැහැනියකි. ඇතැම් විට පීතෘ මූලික සමාජයක ගැහැනිය ගෘහණියක් පමණි.

එහෙත් ඒ වැටකඩුළු බිඳ දමමින් කාන්තාව බොහෝ දුර ගමනක් පැමිණ තිබේ. රටට සමාජයට, පවුලට ශක්තියක් වන්නට ඇය සිය භූමිකාව මෙලෙස රඟදක්වන්නීය. ඇය සර්වදර්ශනී අප්සරායි.

තරුණී පාඨක සුවහසක් කතුන්ට මේ නම හොඳින් හුරු පුරුදුය. ඒ ඇය ඇගේ දැනුම තරුණී හා නිරතුරුවම බෙදා ගන්නා දිරිය කතක් බැවිනි. පුරා 25 වසරක ස්වයං රැකියාවක් ලෙසින් කේක් නිර්මාණ කලාවේ නියැළෙන ඇගේ ජීවිත කතාවෙන් උගත හැකි බොහෝ දේ ඇත.

“කෙනෙක් එකම ක්ෂේත්‍රය දශක ගණනක් රැඳී සිටීම එතරම් ලෙහෙසි පහසු නොවෙයි. ඒ සඳහා මනා කැපකිරීමක්, උනන්දුවක්, උත්සාහයක් තිබිය යුතුමයි. මම මා තුළින්ම ජීවිතය ඉගෙන ගත්තා. මට මාවම පරමාදර්ශී චරිතයක් වුණා. ගැහැනියකට කළ නොහැකි දෙයක් නැහැ. මගේ පවුලේ මාත් එක්ක ගැහැනු ළමයි හයයි. එක සොහොයුරයි. අපි කට්ටියම හරිම උත්සාහවන්තයි. ඕනෑම කටයුත්තක් නිර්භයව සිදුකරනවා. ගේ දොර වැඩ කටයුතු සියල්ල දන්නවා. ක්‍රීඩාවටත් දක්ෂයි. මා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඒ කාලේ මම නොට්බෝල් ක්‍රීඩිකාවක්. පාසලට සමුදීමත් සමඟම ව්‍යාපාරිකයකු වූ

විමලසිරි පෙරේරා සමඟ විවාහ වුණා. විවාහයෙන් පසුව මා නොසිතූ පැතිකඩකට යොමුවුණා. අද මා කේක් නිර්මාණ ක්ෂේත්‍රයේ නම් දැරූ තැනැත්තියක්. ඒ තැනට මාව ගෙනාවේ මගේ ආදරණීය සැමියාගේ අපූරු සහයෝගයෙන්. ඔහු මගේ සිතුම් පැතුම් හොඳින් තේරුම් ගත් අයෙක්. මට මතකයි මම අපේ දුවයි පුතයි පාසලට ඇරවලා එනකොට කේක් පන්තියක් දැක්කා. මේ පන්තිය ගැන මම විපරම් කරලා බැලුවා. මටත් කේක් හදන්න ඉගෙන ගන්න පුංචි ආසාවක් ඇතිවුණා. දරු දෙන්නා පාසලට යවලා පාසල අවසන් වනතුරු ගේට්ටුව ළඟ නිකරුණේ කාලය කා දමන්න මට හිත දුන්නේ නැහැ. කේක් පන්තියට සහභාගි වුණොත් හොඳයි කියලා මට හිතුණා. මේ අදහස සැමියාට කිවූ විට ඔහුත් එයට අවසරය ලබා දුන්නා.

අද කොයිතරම් නම් අම්මලා දරුවො පාසලට දාලා ෂොපින් යනවද? එහෙමත් නැතිනම් මේ කාලය ගෙවා දමන්න ක්‍රමයක් නැතිකමින් වෙන වෙන අනවශ්‍ය දේවල්වලටත් නැඹුරු වෙනවද. ඒ කාලය තමන්ගෙ පවුලේ ආර්ථිකය ගොඩනගා ගන්න ශක්තියක් කර ගැනීමට ගැහැනු අපි බුද්ධිමත් විය යුතුයි. මම කළේ ඒක. දරුවො දෙන්නා පාසලේ ඉගෙන ගනිද්දී මම ඒ ළඟම කේක් පන්තියෙ ඉගෙන ගත්තා. කාලයක් ගතවෙන කොට දරුවන්ගෙ අධ්‍යාපනයට යොදවන්න අවශ්‍ය මුදල් සොයාගන්න මට හැකිවුණා. මම සාර්ථකව කේක් පාඨමාලාව අවසන් කළා. පුංචි පුංචි ඇණවුම් ලැබුණා. සාධාරණ මිලකට ඒවා භාරගනු ලැබුවා. මට මතකයි මම මුල්ම කේක් එක හැදුවෙ මගෙ හොඳම යෙහෙළියගේ විවාහ මංගල්‍යයට. ඒක මගේ ජීවිතයේ අමරණීය අත්දැකීමක්. එදා ඒ මංගල උත්සවයට පැමිණි පිරිස අතරින් බොහෝ දෙනෙක් අදටත් කේක් ඇණවුම් මා වෙත භාර දෙනවා. යම්කිසි ක්ෂේත්‍රයක වඩාත් සාර්ථකව රැඳී සිටීමට නම් ඒ පිළිබඳ හොඳ හැදැරීමක් අවශ්‍යයි. මා තවදුරටත් ඩිප්ලෝමා පාඨමාලා කිහිපයක් සිදු කළා. ඒ අනුව මංගල කේක්, උපන් දින කේක්, සංවත්සර උත්සව කේක්, කප් කේක් ආදී ඕනෑම කේක් වර්ගයක් සෑදීමත් ඒ සඳහා පන්ති පැවැත්වීමත් සිදු කරනු ලබනවා. ගාල්ල, මාතර, අනුරාධපුරය, කුරුණෑගල, නුවර, මීගමුව, හලාවත, ගම්පහ සහ දෙල්ගොඩ පිහිි මගේ නිවෙසේ එම පන්ති පවත්වනු ලබනවා. ඒත් අද වන විට කොරෝනා වසංගතය හමුවේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුවුණා. පෙර කළ විවාහ මංගල කේක් ඇණවුම් එක්වර නැවතුණා. දරාගත නොහැකි පාඩු රැසක්ම සිදුවුණා. රූපවාහිනියේ නුගසෙවණින්, තරුණී පුවත්පත මඟින් මගේ දැනුම සුවහසක් කාන්තාවන්ට මා ලබා දී තිබෙනවා. එමඟින් බොහෝ දුෂ්කර පළාත්වල කාන්තාවන් පවා ස්වයං රැකියා මාර්ගවලට පිවිස තිබෙනවා. ඒ ආශිර්වාදයත් මා සතුයි.

තරුණී පාඨක සුවහසක් කාන්තා ඔබට මා පුංචි උපදෙසක් ලබා දෙන්නම්. ඔබ දියුණුවන ලෝකය හා අත්වැල් බැඳගන්න.

එහෙත් අනවශ්‍ය ලෙස රූපවාහිනිය. ෆේස් බුක් එක වෙනුවෙන් කාලය මිඩංගු නොකරන්න. ඉන් උගත යුතු දේ තෝරා බේරා ගන්න. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කෙනෙක් කුමන හෝ යමක් අලුතින් ඉගෙන ගන්න. එය ක්‍රියාත්මක කරන්න. ඔබට දියුණුව අත්විඳිය හැකියි.

අද ලංකාවේ ප්‍රධාන නගරවල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ කාර්යාල පිහිටුවා තිබෙනවා. ඔබට ලියාපදිංචි විය හැකියි. එහි ස්වයං රැකියා ලාභි ඔබ වෙනුවෙන් පාඨමාලා ගණනාවක්ම තිබෙනවා. නොමිලයේ ලබා දෙන ඒ දැනුමින් ප්‍රයෝජන ගන්න. ව්‍යාපාරයකට යොමුවීම, පවත්වාගෙන යාම, ලියාපදිංචිය, ඉහළ තාක්ෂණික දැනුම, වෙළෙඳපොළ මේ හැම දැනුමක්ම ලබා දීම සිදුකරනවා. ඉතිං ඔබ ඇයි තවත් මංමුලාවූවකු සේ හිඳිනුයේ. මම අද ආදරණීය බිරියක්, මවක් වගේම මිත්තනියක්. ඒ වගේම ආත්ම අභිමානය ඇති ව්‍යවසායිකාවක්. ගෘහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යමින් සැමියාගේ ආර්ථිකයට අත්වැල් සපයන බිරියකගේ වටිනාකම මිල කළ නොහැකියි. ඕනෑම කාන්තාවකට උත්සාහය ඇත්නම් එම වටිනාකම ළඟාකර ගත හැකියි.”ඇගේ ගමන්මඟ ඔබටද සැබෑම ආදර්ශයකි. ඇතිවිය යුත්තේ උනන්දුව, කැපකිරීම පමණි.