මුල්ම බෑගය මැහුවේ පරණ ඩෙනිමක් කපලා

දුක් කම්කටොළු මැදින් ජීවිතය දිනූ ඇහැලියගොඩ නදී
පෙබරවාරි 17, 2021

 

“ලොකුවට හිතන්න, පුංචියට අරඹන්න” මෙවැනි රුවන් වැකියක් ඔබේ ජීවිතය නවමු ඉසව්වකට රැගෙන යනු නොඅනුමානයි.

අද අපේ රටේ ප්‍රසිද්ධ නම් දැරූ ව්‍යාපාරිකයන් මේ න්‍යාය තුළින් ගොඩ ආ පිරිස්ය. ඔවුන්ගේ ජීවිත කතා ඇසුරු කරද්දී ඒ බව මනාවට පිළිබිඹු කරයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) හා එකතුවීමෙන් ඔබටත් එවැනි ජයග්‍රහණයක් අත්පත් කරගත හැකියි. පුංචියට ඇරැඹි ස්වයං රැකියාවක් අද යම් ස්ථාවරයකට ගෙන ගිය කතුන් සොයා ඔබට කියනුයේ ඒ තුළින් ඔබට ද යමක් උකහා ගැනීමටයි.

ඇය නදී කරුණාතිලක. රුවන්පුර උපන් සැබෑම මැණිකකි. පවුලට රටට ආර්ථික සවියක් ලබා දෙන සම්පතකි. සංවර්ධනය වෙමින් පවතින අපේ රටට අවැසි මෙවැනි දිරිය කතුන්ය.

අංක 315/ඕ, විලේගොඩ, ඇහැලියගොඩ ‘නිර්මාණී කලෙක්ෂන්’ ඇගේ අප්‍රමාණ උත්සාහයේ කැඩපතයි. එයට පිය නගන ඔබට හෑන්ඩ්ලූම් බෑග්, කාර්යාලීය රෙක්සින් බෑග්, තිර රෙදි, ඇඳ ඇතිරිලි, මේස රෙදි, මේස දරණු, පැච්වර්ක් නිර්මාණ දැකගත හැකියි. එපමණක් ද නොව ඔබට අවැසි ඕනෑම නිර්මාණයක් ඇයගේ හැකියාවෙන් අපූරුවට සිදුකර ගත හැකියි.

ඇගේ නිර්මාණශිලී දෑතේ විස්කම් මෙතරම් සොඳුරු වුවත් ඇය ආ ගමන් මඟ නම් සුන්දර නොවෙයි. දුක් කම්කටොළු මැදින් ගලා ආ ජීවිතයේ ලද ජයග්‍රහණයයි මේ. සුවහසක් තරුණී පාඨක ඔබට එය ආදර්ශයක් වනු නිසැකය.

“රත්නපුර පුරවරයේ ඇහැළියගොඩ ගම් පියසෙ උපන් මා සහෝදර සහෝදරියන් පස් දෙනෙක් ඉන්න පවුලක දෙවැනියයි. මගෙ අම්මා ගෘහණියක්. තාත්තා රාජ්‍ය සේවකයෙක්. අපි හත්දෙනාම ජීවත් කළේ තාත්තා හම්බ කරපු මාසික වැටුපෙන්. ගෙදර අඟහිඟතා නොතිබුණාම නොවෙයි. එහෙම අවස්ථාවලදී මට ඉක්මණින් රැකියාවක් කිරීමේ අවශ්‍යතාව පැන නැඟුණා. සුළු මුදලකින් හෝ නිවෙසේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්නේ නම් අම්මාටයි තාත්තාටයි ලොකු සැනසීමක් කියලා මට දැනුණා.

එබැවින් උසස් පෙළින් පසුව තවදුරටත් ඉගෙනීමක් ගැන මම හිතුවේ නැහැ. තාත්තාගෙ මඟ පෙන්වීම යටතේ මම රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ තෙමසක පාඨමාලාවක් හැදෑරුවා. අනතුරුව ලංකාවේ නම් දැරූ ස්වර්ණාභරණ වෙළදසලක පුහුණුවීමට අවස්ථාව ලැබුණා. මුල්ම වැටුප රු. 7500 ක්. ඒ මුදල මම අම්මා අතට දුන්නා. මේ කාලෙදිම තාත්තා රැකියාවෙන් විශ්‍රාම ගියා. මා ගෙදරට ඉටුකළ යුතු යුතුකම් වැඩි වුණා. එබැවින් මා ලබන මුදල ප්‍රමාණවත් නොවුණා. මේ නිසා අත්කම් නිර්මාණ කරන්නට පෙළඹුණා. ගෙදර තිබුණ පරණ ඩෙනිම් ඇඳුම් කපලා බෑග් මැහුවා. මොකද මුදලක් යොදවලා අමුද්‍රව්‍ය අරගෙන යමක් නිර්මාණය කරන්නට ශක්තියක් තිබුණෙ නැහැ. එහෙම හදපු මුල්ම ඩෙනිම් බෑගය රු. 350 කට විකුණුවා.

කාලයත් සමඟින් ගෙදරට එන අය මගේ නිර්මාණ ඇගයීමට ලක් කළා. අසල්වාසීන් හිතවතුන් වෙනුවෙන් මැසූ බෑග්, ඇඳ ඇතිරිලි, කොට්ට උර ස්වයං රැකියාවක් දක්වා කිරීමට මඟ පෑදුවා. එක අතකින් දෙවියෝ මූණ බැලුවා වගෙයි.

මගේ ගෙදර අය ජීවත් කරවන්න හැකි මුදලක් උපයා ගන්න මට පුළුවන් වුණා.

හැමදාමත් මහපු එකක් කාටහරි විකුණලා කීයක් හරි අරන් වැඩක් නැහැ කියලා මට වැටහුණා. එබැවින් කුඩා ව්‍යාපාර අංශයට සම්බන්ධ වුණා. එයින් මට ව්‍යාපාරයකට අවශ්‍ය දැනුම, ණය පහසුකම්, තාක්ෂණික දැනුම, වෙළෙඳපොළ වගේ නොයෙක් අවස්ථා ලබා දුන්නා. අද ‘නිර්මාණී කලෙක්ෂන්’ නම බැබළෙන්නේ ඔවුන්ගේ යෝධ ශක්තියෙන්.

කොහොම නමුත් මට විවාහය මඟ හැරුණා. තිබුණ ආදර සබඳතාව අතරමඟ නැවතීමේ විරහව දරා ගත්තේ නිර්මාණවලට පින්සිදුවන්ටයි.

ඇත්තෙන්ම අත්කමක් කරලා ලබන මානසික සුවය කියා නිම කරන්නට බැහැ.

මම භාවනාවකට සමවැදී කරන නිර්මාණ ඇත්තටම සාර්ථකයි. ජීවිතයේ ලද පාළුව තනිකම මකාලන්නට අද මගේ වෘත්තිය ශක්තියක් වුණා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.