මල් ව්‍යාපාරයක් සඳහා වගා කළ යුතු ප්‍රභේද

අප්‍රේල් 14, 2021

 

වසරකදී වැඩි මල් කිනිති ප්‍රමාණයක් තිළිණ කරනා සොම්රක් වයිට්

 

ජැක් හවායි ඕකිඩ් මල් අලෙවිය හරහා ඔබට හොඳ මිලක් ලැබිය හැකියි

 

උඩවැඩියා යනු චමත්කාරජනක මල් ලෝකයේ හැඩකාර සුකොමළියයි. නෙතට රසඳුනක් වැනි ඇයව තම ගෙමිදුලට කැඳවා අමතර ආදායමක් ලබාගන්නටත් මේ වනවිට ඔබ සැලසුම් කරනවා නොඅනුමානයි.

 

මෙහිදී ඔබට කැපූ මල් හෝ බඳුන්ගත පැළ ලෙසින් ඕකිඩ් අලෙවි කළහැකි අතර රුචිකත්වය සහ ඉඩකඩ අනුව මේ දෙවර්ගයම අලෙවි කළ හැකි වේවි. නමුත් වගාවට පළමුව ඔබ ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹිය යුතු අතර ඒ අනුව වගා කළයුතු ඕකිඩ් ප්‍රභේද තෝරා ගත හැකි වේවි.

සාමාන්‍යයෙන් ඔබ පළමුව කැපූ මල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අදහස් කරන්නේ යැයි අපි සිතමු. එහිදී වගා කළ යුතු ඕකිඩ් ප්‍රභේද මෙන්ම ඒවා අලෙවි කරන ස්ථාන එහෙමත් නැතිනම් වෙළෙඳපොළ පිළිබඳ ද සොයා බැලිය යුතු වේ. එසේ නොමැතිව ඔබේ රුචිකත්වය අනුව වගාකර අනතුරුව අලෙවියේ දී විවිධ ගැටලු පැනනඟින්නට ඉඩ තිබේ.

උදාහරණයක් ලෙස ඔබ නිවෙස අසල පිහිටි රූපලාවණ්‍යාගාරයකට මේ මල් ලබා දෙනවා යැයි අපි සිතමු. එවිට මේ දිනවල මනාලියන් හැඩගන්වන්නට භාවිත කරන ඕකිඩ් වර්ග සහ වැඩිම ඉල්ලුමක් සහිත වර්ණ පිළිබඳ දැනුවත් වන්න. එසේ නොමැතිව අවමංගල්‍ය සේවා සඳහා මල් ලබාදෙන්නේ නම් එම සේවාවන් සමඟ සාකච්ඡා කර අවශ්‍යතා පිළිබඳ පළමුව දැනුවත්වන්න.

මනාලියන්ගේ මල් කළඹට මෙන්ම හිස සැරසීමට යොදාගන්නා සුදු අතරමැදි ඩෙන්ඩ්‍රෝබියම් මල් සහ පොහොට්ටු සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. ඊට අමතරව සොම්රක් වයිට් (ඉධථපචඬ එඩඪබඥ) සහ ජැක් හවායි (බ්චජඬ ඩචඹචඪ) යන ඕකිඩ් වර්ග සඳහා ද මනාලියන්ගේ වැඩි කැමැත්තක් දැකිය හැකියි.

වසරකදී වැඩි මල් කිනිති ප්‍රමාණයක් තිළිණ කරනා සොම්රක් වයිට් ඕකිඩ් මල් පෙතිවල හිඩැස් අඩුය. එමෙන්ම මේ මලෙහි මඳ දිස්නයක් දැකිය හැකි වේ. නමුත් වැඩි උණුසුමක් සහිත පරිසරයකට එනම් හිරුඑළිය වැඩි වශයෙන් මල් මත පතිත වුවහොත් මෙම දිළිසෙන සුළු ස්වභාවය නැතිවන බවත් ඔබ මතක තබාගන්න. ලංකාවේ පරිසර තත්ත්වයට ඉතා යෝග්‍ය මේ සොම්රක් වයිට් ලෙඩ රෝග සඳහා ද හොඳින් ඔරොත්තු දෙයි.

වසරකට එක් ගසකින් මල් කිනිති 30කට වැඩි ප්‍රමාණයක් තිළිණ කරනා ජැක් හවායි ද කැපූ මල් ව්‍යාපාරය සඳහා මනාව ගැළපේ. එමෙන්ම මේ එක් මල් කිනිත්තක මල් 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් දැකිය හැකියි. නමුත් සොම්රක් වයිට් ඕකිඩ් මල මෙන් නොව මෙම ජැක් හවායි මලෙහි පෙති අතර පරතරය තරමක් වැඩිය. ළා දම් පැහැති මේ වර්ගය පොහොට්ටු සහිත කිනිති කැපීමට වැඩි වශයෙන් භාවිත කළ ද මල් ද අලෙවි වේ.

ජැක් හවායි ඕකිඩ් මල් අලෙවිය හරහා ඔබට හොඳ මිලක් ලැබිය හැකි බව නම් නොකියාම බැහැ. මන්ද මේ මලක් හෝ පොහොට්ටුවක් රුපියල් 10 ත් 12 ත් අතර මිලකට අලෙවි වේ. ඒ අනුව මල් 30ක් සහිත කිනිත්තක මුළු වටිනාකම රුපියල් 300 ත් 360 ත් අතර වේ. එවැනි මල් කිනිති 10 ක් පමණ එකවර කැපිය හැකි නම් එය රුපියල් 3000 ක් ඉක්මවූ මිලකි.

කැපූ මල් ලෙසින් අලෙවි කළ හැකි තවත් ඕකිඩ් ප්‍රභේද බොහොමයක් ඇති අතර අපි ඒවා පිළිබඳ ඉදිරි සතිවලදී දැනුවත් වෙමු.

 

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ