මුල් මාස කිහිපයේදී දරුවකු සේ ගම්මිරිස් පැළ රැක බලා ගත යුතුයි

මැයි 5, 2021

ආහාර රස ගන්වනයක් සේ ම ඖෂධයක් ලෙසින් භාවිතයට ගැනෙන ගම්මිරිස් අපට නැතිවම බැරි කුළුබඩුවකි. සාමාන්‍යයෙන් අප දිනපතාම ආහාර පිසීමේ දී ගම්මිරිස් භාවිත කළද වැඩි ප්‍රමාණයක් පාවිච්චි නොවේ. එබැවින් බොහෝ දෙනකුට තමන්ගේ දෛනික පරිහරණය සඳහා අවශ්‍ය ගම්මිරිස් ටික නිවෙසේදීම සකසා ගත හැකිය. ඒ සඳහා ඔබව දැනුවත් කරන්නට මෙලෙස අප උත්සාහ දරන අතර පසුගිය සතියේ දී අපේ අවධානයට යොමු වූයේ වගාවට සුදුසු ගම්මිරිස් පැළ තෝරාගන්නේ කෙසේද යන්නයි .

 

ගම්මිරිස් පැළ සිටුවීම

 

ගම්මිරිස් පැළය වැඩීම සඳහා සිටුවා ගත් ආධාරකය වූ ග්ලිරිසීඩියා දණ්ඩ සිටුවා මාස හයක් ගත වූ පසුව ගම්මිරිස් පැළ සිටුවා ගත යුතුයි. ඒ සඳහා අඩි 2 × 2 × 2 ප්‍රමාණයේ වළක් ආධාරකය ආසන්නයෙන් කපාගන්න. මෙලෙස තරමක් විශාල වළක් අවශ්‍ය වන්නේ ගම්මිරිස් වැලෙහි මූල පද්ධතිය නිදහසේ වැඩීම සඳහයි. අනතුරුව වියළි ගොම හෝ කොම්පෝස්ට් , මතුපිට පස් සමඟ මිශ්‍ර කර වළ පුරවා ගත යුතුයි. මේ මිශ්‍රණයට රොක් පොස්පේට් ග්‍රෑම් 100 ක් බැගින් එක් කරගන්න. වියළි දේශගුණයක් සහිත ප්‍රදේශයක නම් වළ ඇතුළට පොල් ලෙලි දැමීමෙන් පැළයට අවශ්‍ය තෙතමනය රඳවා තබා ගන්න පුළුවනි.ඔබට ඇත්තේ බෑවුමක් සහිත ඉඩමක් නම් බෑවුමට විරුද්ධව ඉහළ පැත්තෙන් වළවල් දෙකකට පොල්ලෙලි අසුරා ගැනීම සුදුසුය.

 

ඉන්පසුව අපට ගම්මිරිස් පැළය සිටුවා ගත හැකිය. පැළ සිටුවීමට වඩාත් ගැළපෙන්නේ හොඳින් වැසි වැටෙන කාල පරිච්ඡේදයයි.එමෙන්ම පැළය සිටුවා පොල් අත්තකින් හෝ වෙනත් සුදුසු ආවරණයකින් සෙවණ සපයන්නත්, පසට ග්ලිරිසීඩියා කොළවලින් වසුනක් යොදන්නත් අමතක කරන්න එපා.

 

මුල් මාස කිහිපයේදී දරුවකු රැකබලා ගන්නවා සේ ඔබේ අවධානය පැළයට අවශ්‍ය වේ. වැළ ආධාරකය දෙසට යොමුකර ළපටි මුල් ඇදෙන ගැට සහිත ස්ථාන කුඩා රෙදි පටියකින් ගැට ගසන්න. හොඳින් සෙවණ හා පසට වසුන් යොදා පැළය සහ පස වියළී යාම වළකාගන්න.

 

කප්පාදු කිරීම

 

ආධාරක ශාකයත් ගම්මිරිස් වැළත් නිසි කලට වේලාවට කප්පාදුකර සකසා ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තකි.මෙහිදී ගම්මිරිස් වැළ පුරුක් දහයක් පමණ ඉහළට වැඩුණු විට පොළොවේ සිට පුරුක් තුනක් ඉහළින් වැළ කපා දමන්න. එවිට අලුතින් අතු බෙදී පැළය ඉතා සාර්ථකව වර්ධනය වේවි. පසුව ගැටවලින් හට ගන්නා රිකිලිත් ආධාරකයට යොමු කරන්න. ප්‍රධාන කඳේ සිට දෙපසට වර්ධනයවන හරස් අතු ද අපි ආධාරකයට යොමුකළ යුතුයි.මෙලෙස කිරීමෙන් ගම්මිරිස් පැළය සිලින්ඩරයක හැඩයට ඉතාමත් අලංකාරව සහ ක්‍රමානුකූලව ඉහළට මෙහෙයවා ගත හැකිය.

මෙලෙස ගම්මිරිස් වැළෙහි හටගන්නා හරස් අතු ප්‍රමාණය මත තමයි ඔබට ලැබෙන අස්වනු ප්‍රමාණය තීරණය වන්නේ.ගම්මිරිස් වැළ පරිණත වද්දි පොළොව මත දුවන පාවැලුත් , ආධාරකය කෙළවර සිට පහළට වර්ධනයවන ගැරඬි වැලුත් ඉවත් කර දැමීම අනිවාර්යයි.

එමෙන්ම ආධාරකය ලෙස සිටුවා ගන්නා ග්ලිරිසීඩියා දණ්ඩ ද සෑම මාස හයකට වරක් කප්පාදු කරන්න. ඔබට මතක ඇති මේ දණ්ඩ සිටුවා ගනිද්දී අග්‍රස්ථ කෙළවර තෙත පස් ටිකකින් ආවරණය කළ හැටි.එමගින් පහළින් හටගන්නා රිකිලි ඉවත්කර ඉහළ කෙළවර පමණක් අතු බෙදීම උත්තේජනය කරගත හැකිය.මේ ආකාරයට ආධාරකය අඩි පහළොවක් පමණ උපරිම උසකට සකසා ගන්න. ඔබ ආධාරක ශාකය කප්පාදුවෙන් ඉවත් කරන කොළ සහ ළපටි දඬු ගම්මිරිස් පැළ සඳහා වටේට වසුනක් ලෙස යොදාගන්න පුළුවනි.

 

පොහොර සැපයීම

 

වැඩුණු ගම්මිරිස් පැළයකට නොමසුරුව ග්ලිරිසීඩියා කොළ සහ ළපටි දඬු, දිරාපත් වූ ගොම පොහොර හෝ කුකුළු පොහොර යොදනවා නම් රසායනික පොහොර අවශ්‍ය වන්නේ ඉතාමත් අඩුවෙනි. වසර තුනක් පමණ වයසැති හොඳින් වැඩුණු පරිණත ගම්මිරිස් පැළයක් සඳහා වසරකට දිරාපත් වූ ගොම පොහොර කිලෝග්රෑම් 16 ක් , කුකුළු පොහොර නම් කිලෝ ග්‍රෑම් 12 ක් හෝ ආධාරක ග්ලිරිසීඩියා ගසේ කොළ හා ළපටි දඬු නම් කිලෝ ග්‍රෑම් 10 ක් පමණ ගසට එකතු කිරීම ඉතාම වැදගත්. මෙම පොහොර වර්ග යෙදීමේ දී සියල්ලම එක්වරම ලබා නොදී වසර පුරාම වරින් වර ලබාදෙන්නට මතක තබා ගන්න.

ඔබට කාබනික පොහොර යොදන අතරතුරේ උපරිම අස්වැන්නක් ලබා ගැනීමට රසායනික පොහොර ද යෙදිය හැකිය. ගම්මිරිස් පැළ සිටුවා පළමු මාස හය ගත වූ පසුව පළමු පොහොර යෙදීම සිදු කරන්න. පැළයේ මුල සිට අඩියක දුරින් ගස වටේට ඉතා කුඩා කාණුවක් සකසා එයට පොහොර යොදා පස සමඟ හොඳින් මිශ්‍ර කරන්න. පැළය සිටුවා තුන්වන අවුරුද්ද වනවිට පැළයෙහි මුල සිට අඩි එකක් දෙකක් අතර පරතරයකින් පොහොර යෙදීම උචිතය සෑම මාස හයකට වරක් මෝසම් වර්ෂාව ආරම්භවීමත් සමඟම පොහොර යෙදීම සිදු කරන්න.

මේ සඳහා ඔබට වෙළෙඳසලෙන් ගම්මිරිස් පොහොර මිලදී ගත හැකියි. එලෙස ගම්මිරිස් පොහොර මිලදී ගත්තා නම් පළමු අවුරුද්දේ දී එක් පැළයකට ග්‍රෑම් 125 බැගින් දෙවරක් යොදන්න. දෙවැනි අවුරුද්දේ දී ග්‍රෑම් 250 බැගින් දෙවරක් ද තුන්වෙනි අවුරුද්දේ දී ග්‍රෑම් 350 බැගින් යොදන්න.

 

මේ ආකාරයට ක්‍රමානුකූලව ජලය ,පොහොර, වසුන් ආදිය යොදා ආදරයෙන් ගම්මිරිස් වැළ රැකබලා ගතහොත් ඉතා හොඳ අස්වැන්නක් නෙළා ගත හැකි බව අමතක කරන්න එපා.

 

 

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම

දෙපාර්තමේන්තුවේ (මාතර),

සහකාර අධ්‍යක්ෂ

සුජිතා චතුරංගි

 

 

 

ඡායාරූප - ලසන්ත අබේරත්න

විහේෂ ස්තූතිය - දිශාන්ති කොඩිතුවක්කු