සියුමැලි දෑතින් මුළුතැන්ගෙට යන කුළුබඩු ලොව රජ්ජුරුවෝ ගම්මිරිස්

මැයි 12, 2021

 

කුළුබඩු ලොව රජු ලෙසින් විරුදාවලිය ලත් ගම්මිරිස් මුළුතැන්ගෙට නැතුවම බැරි රසකාරකයකි. මනා ලෙස නඩත්තු කරන ලද ගම්මිරිස් වැල් කිහිපයක් ඔබේ ගෙවත්තේත් පවතී නම්, නිවෙසෙහි වසරකට අවශ්‍ය ගම්මිරිස් අවශ්‍යතාවය එයින් සපුරාගත හැකියි.

ඉතින් ආහාර රස ගැන්වීමෙහිලා නැතිවම බැරි මේ ගම්මිරිස් වගා කරන ආකාරය අප පසුගිය සතියේ කතාබහට ලක් කළෙමු. වගාකරගත් ගම්මිරිස් අස්වැන්න නෙළා එය මුළුතැන්ගෙට කැඳවාගෙන එනතෙක් සිදු කළ යුතු ක්‍රියාදාමයක් පවතී. එබැවින් අද අප එය සිදුවන්නේ කෙසේ දැයි සොයා බලමු.

අස්වනු නෙළීම

ශ්‍රී ලංකාවේ දී වසරකට දෙවරaක් ගම්මිරිස් අස්වැන්න නෙළීම සිදු කෙරේ. එනම් නොවැම්බර් සිට ජනවාරි අතර කාලයේ දීත්, මැයි සිට ජුලි යන කාලයන්හි දීත් ගම්මිරිස් අස්වැන්න නෙළීම සිදු කෙරේ.

සාමාන්‍යයෙන් ගම්මිරිස් රෑන් ඇදෙන අවස්ථාවේ සිට හොඳින් පරිණත වීම සඳහා මාස අටක් නවයක් අතර කාලයක් ගතවේ. ගම්මිරිස් කරලක ඇට කිහිපයක් රතු පැහැයට හැරෙන අවස්ථාවේ දී වැලට හානියක් නොවන පරිද්දෙන් අතින් අස්වනු නෙළීම සිදු කළ යුතුය. කෙසේ වෙතත් අස්වනු නෙළීමේදී පැසුණු සහ ඉදුණු කරල් පමණක් තෝරා නෙළා ගැනීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. මෙසේ නෙළා ගත් ගම්මිරිස් අස්වැන්න පිරිසුදු බෑගයකට හෝ බඳුනකට එකතු කරගන්න.මීට අමතරව බිම පතිත වූ කරල් වෙනම අහුලා එකතුකර සෝදා ගන්න.


අනතුරුව නෙළාගත් ගම්මිරිස් කරල්වලින් ඇට වෙන් කරගත යුතුයි. සාමාන්‍යයෙන් ගම්මිරිස් නිෂ්පාදන අතර කළු ගම්මිරිස් ,සුදු ගම්මිරිස් ආදී වශයෙන් පවතින අතර ගෘහණියන් අතර බෙහෙවින් ජනප්‍රිය කළු ගම්මිරිස් ය. හොඳින් මේරූ පැසුණු ගම්මිරිස් ඇටවලින් කළු ගම්මිරිස් සකස් කරගනියි.

ගම්මිරිස් කරල්වලින් ඇට වෙන් කිරීම

නෙළාගත් ගම්මිරිස් කරල් පැය 12 ත් 24 ත් දක්වා කාලයක් පිරිසිදු ස්ථානයක ගොඩගසා තිබීමෙන් ඇට වෙන් කරගැනීම පහසු වේ. නිවෙසේ පරිභෝජනය සඳහා පමණක් මෙම කාර්යය සිදු කරන්නේ නම් එය අතින් සිදු කිරීම වඩාත් සුදුසුය. නමුත් ව්‍යාපාර මට්ටමින් ඔබ ගම්මිරිස් නිෂ්පාදනය කරන්නේ නම් මෙම ගම්මිරිස් බීජ වෙන් කිරීමට යන්ත්‍ර උපයෝගී කරගත හැකිය.

අමු ගම්මිරිස් ඇට වර්ග කිරීම

ගම්මිරිස් පරිභෝජනය සඳහා සකසා ගැනීමට පෙර එහි ඇති පැසුණු ඇට, නොපැසුණු ඇට සහ අල්පෙනෙති හිස් ආකාරයේ ඇට වෙන් කිරීම කළයුතුය. මේ සඳහා නොම්බර පහ සහ නොම්බර අට යන සල්ලඩ භාවිතය වඩාත් සුදුසුයි. මෙමගින් ඇල්පෙනෙති හිස් ආකාරයේ බොල් ඇට ඉවත් කෙරෙයි.
නිවෙසේ පරිභෝජනයට නම් මෙලෙස කුඩා ඇට සහ ලොකු ඇට වශයෙන් වෙන වෙනම සකසා ගැනීම අත්‍යවශ්‍ය නොවුවද එසේ කිරීම මගින් ඒකාකාරී සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වියළි ගම්මිරිස් නිෂ්පාදනය කරගත හැකි වේ.

කළු ගම්මිරිස් නිෂ්පාදනය

උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු කළු ගම්මිරිස් නිෂ්පාදනය කරගැනීම සඳහා උණුවතුර ප්‍රතිකාරය අත්‍යවශ්‍යයි. මෙය ඔබට නිවෙසේ දී පහසුවෙන් සිදුකරගත හැකිය. එහිදී මුලින්ම ගම්මිරිස් ඇට සෝදන්න. ඉන්පසුව ඒවා දැල් උරයක බහා හොඳින් නටන ජලයෙහි මිනිත්තු එකක් හෝ දෙකක් ගිල්වා තබන්න. පසුව ඒවා ඉවතට ගෙන ජලය බේරෙන්නට හැර හොඳින් තුනීකර වියළා ගන්න.

ගම්මිරිස් නිෂ්පාදනයේ යෙදෙන බොහෝ දෙනෙකු නොදැනුවත්කම නිසා උණුවතුර ප්‍රතිකාරය සිදු නොකෙරේ. ඒ වෙනුවට නෙළාගත් ගම්මිරිස් අස්වැන්න අව්වේ වියළා ගැනීම සිදු කරයි.නමුත් උණුවතුර ප්‍රතිකාරය කිරීම තුළින් මතුපිට රැලි ගැසුණු ඒකාකාර, පැහැපත් කළු වර්ණයකින් යුත් ගම්මිරිස් ඔබට ලබාගත හැකිය. තවද අපද්‍රව්‍ය හා ක්ෂුද්‍ර ජීවී ප්‍රමාණය අඩුවීම, අව්වේ වියළීමට ගතවන කාලය අඩුවීම සහ ගබඩා කාලය වැඩි වීම වැනි වාසි රැසක් මෙම උණුවතුර ප්‍රතිකාරය මඟින් ලබාගත හැකිය.

ගම්මිරිස් වියළීම

සාමාන්‍යයෙන් උණුදිය ප්‍රතිකාරයත් සමඟම 75% ක් පමණ ජල ප්‍රතිශතයක් ගම්මිරිස්වල පවතී. නමුත් කල් තබා ගැනීම සඳහා මෙම ජල ප්‍රතිශතය 12% දක්වා අඩු කර ගතයුතු වේ. එය සිදු කරගත යුත්තේ වියළීම මගිනි. අස්වනු නෙළා ගත් විගස වියළා ගැනීම මඟින් ක්ෂුද්‍ර ජීවි හානි අඩුකර ,ගබඩා කාලය වැඩි කර ගත හැකියි. මෙහිදී ගෘහස්තව අව්වේ දමා වියළා ගැනීම සිදුකරන්න. බාහිර අපද්‍රව්‍ය එකතු නොවන සහ සතුන් ඇතුළු විය නොහැකි ලෙසට සකස් කරගන්නා ලද උස් වූ ස්ථානයක තබන ලද අතුරනයක් මත මෙම ගම්මිරිස් තුනී තට්ටුවක් ලෙස අතුරා වියළා ගැනීම වඩාත් සුදුසුයි.

ගම්මිරිස් ඒකාකාරීව වියළීම සඳහා විටින් විට අතින් හෝ රේක්කයක් ආධාරයෙන් කලවම් කරන්න. මෙලෙස උදේ වරුවේ පැය දෙකක් තුනක් අව්වේ තබා වියළා නැවත පැයක් පමණ පවනේ වියළන්න. ඉන්පසුව නැවතත් සවස් කාලයේ පැය දෙකක් තුනක් පමණ අව්වේ වියළන්න. මෙලෙස දින දෙකක තුනක කාලයක් ගතවන විට ගම්මිරිස් හොඳින් වියළේ. එහිදී ගම්මිරිස්වල ජල ප්‍රතිශතය 12% ක් දක්වා අඩු වී තිබිය යුතුය. ඔබ ගම්මිරිස් ඇටයක් නියපොත්තෙන් කැඩීමට තැත් කළ විට ටකස් යන ශබ්දයෙන් ගම්මිරිස් ඇටය කැඩී යයි නම් එය හොඳින් වියළාගත් බවට සළකුණකි.

ශ්‍රේණි කිරීම

සාමාන්‍යයෙන් අපනයන වෙළෙඳ පොළට නිකුත් කිරීමේ දී ගම්මිරිස් ශ්‍රේණිගත කිරීම අත්‍යවශ්‍ය අංගයක් වුවද ඔබ නිවෙසේ පරිභෝජනය සඳහා ගම්මිරිස් සකසා ගන්නේ නම් මෙය අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් සකස් කරගන්නා ලද ගම්මිරිස් ලීටරයක පරිමාවකට පුරවා එහි බර කිරා ගත් පසු ග්‍රෑම් 550 ට වඩා වැඩි අගයක් ගනී නම් එය පළමු ශ්‍රේණියේ ගම්මිරිස් ලෙස හැඳින්විය හැකිය.

විශේෂයෙන්ම ඔබ නිවෙසේ දී සකසා ගත් ගම්මිරිස්වල ගුණාත්මක තත්ත්වය ඔබටම නීර්ණය කරගැනීමට අවශ්‍ය නම් ලීටර් 1 ක අයිස්ක්‍රීම් බඳුනක් ගෙන එහි කට මට්ටම දක්වා ගම්මිරිස් ඇට පුරවා ගන්න. අනතුරුව නිවෙසේ තිබෙන තරාදියකින් බර කිරාගන්න. එවිට එම ගම්මිරිස්වල බර ග්‍රෑම් 550 ට වැඩියි නම් ඔබේ නිෂ්පාදනය ඉතා ඉහළ ගුණාත්මක මට්ටමක පවතී.

ඇසිරීම සහ ගබඩා කිරීම

ඇසිරීම සහ ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ගම්මිරිස්වල ජල ප්‍රතිශතය 12% දක්වා අඩු මට්ටමක පැවැතිය යුතු බව ඔබ මතක තබාගන්න. ප්‍රමිතිය ග්‍රේජ් 250 /300 පමණවන පොලිතීන් හෝ පොලිප්‍රොපිලීන් මල්ලක් තුළ ඇසිරීම මගින් ගම්මිරිස්වලට ජල අවශෝෂණය වළක්වා ගත හැකියි. නිවෙසේ නම් ජීවානුහරණය කරනලද වීදුරු බෝතල් වල අසුරා කල්තබාගැනීම ප්‍රායෝගිකයි. මෙම වීදුරු බෝතල් විදුලි උදුනක සෙන්ටිග්‍රේඩ් අංශක 150ක උෂ්ණත්වයකින් විනාඩි 15 ක් හෝ ද්විත්ව උණුදිය ප්‍රතිකාරය Double boiling මගින් ක්ෂුද්‍රජීවී හරණය කරගැනීම වඩාත් සුදුසුය.

ගෘහස්ථ ඇඹරුම් යන්ත්‍රයක් භාවිත කරමින් වියළි ගම්මිරිස් කුඩු කර හෝ කැබලි බවට පත්කර වුවද ජීවානුහරණය කරනලද බෝතල් තුළ ඇසිරීම මගින් කල් තබා ගන්නට පුළුවනි.එමගින් මුළුතැන්ගෙයි භාවිතය ද පහසු කරයි. එසේම ගම්මිරිස් වැඩි අස්වැන්නක් ලැබී තිබේ නම් මෙලෙස සකසාගත් කළු ගම්මිරිස් නිෂ්පාදනය කිරීම ස්වයං රැකියාවක් ලෙසද ඔබට පවත්වාගෙන ගිය හැකිය.

උපදෙස්
අපනයන කෘෂිකර්ම
දෙපාර්තමේන්තුවේ (ගම්පහ),
සහකාර අධ්‍යක්ෂ
චරිතා කෝසලී ප්‍රියදර්ශිකා

උපදෙස් - අපනයන කෘෂිකර්ම දෙපාර්මේන්තුව (ගම්පහ ),
සහකාර අධ්‍යක්ෂ

ඡායාරූප - ලසන්ත අබේරත්න

විශේෂ ස්තුතිය - දිශාන්ති කොඩිතුවක්කු