‍ප්‍රෝෂන් ඩයි තවත් ආකාරයකට නිර්මාණයකට යොදන අයුරු

මැයි 19, 2021

පසුගිය සතියේ අපි බතික් පාඩමෙන් ප්‍රෝෂන් ඩයි සහ වැට් ඩයි ක්‍රමයට ගවුමක් නිර්මාණය කර ගන්නා ආකාරය පැහැදිලි කර දුන්නෙමු.

 

එහෙත් බොහෝ දෙනකුට ප්‍රෝෂන් ඩයි ක්‍රමයේදී කෝස්ටික් සෝඩා යොදනවිට ගැටලු ඇති වූ බැව් අපහට දැනුම් දෙන ලදී. එහෙත් පාඨක ඔබට අප පවසන්නේ, නොබියව කෝස්ටික් සෝඩා යොදා ගන්නා ලෙසයි. කෝස්ටික් සෝඩා දැමූ පසු ඩයිවල වර්ණයේ පැහැය අඩුවීමක් සිදු වුවද එය වඩාත් සාර්ථක ක්‍රමයයි. ඔබට තද වර්ණයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඩයිවල ප්‍රමාණය වැඩි කිරීමෙන් ඔබට අවශ්‍ය වර්ණය ලබා ගත හැකිය.

අද අප ඔබට ගෙන එන්නේ ප්‍රෝෂන් ඩයි තවත් ආකාරයකට නිර්මාණයකට යොදන අයුරුයි. මෙම ක්‍රමය අප අතීතයේදී භාවිත කළ ක්‍රමය වේ.

මේ ආකාරයට අප පෙර කළ කොට්ට උරයම නිර්මාණය කරමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

රෙදි 1/2 m (ඕනෑම කපු රෙදි වර්ගයක්)

ප්‍රෝෂන් ඩයි 10g

ලුණු 300g (industrial Salt) - කැට ලුණු

සෝඩා ඇෂ් 150g

වෙටින් ඒජන්ට් (Wetting Agents) / VIP 16 ml

මඳ උණුසුම් ජලය 150 ml

පළමුව රූප සටහනේ දැක්වෙන පරිදි නිර්මාණය රෙද්ද මත පිටපත් කරගන්න.

පසුව අවශ්‍ය පරිදි ඉටි කර ගන්න. පසුව නිර්මාණය ජලයේ හොඳින් පොඟවා ගන්න.

 

ඩයි සකස්කර ගැනීම

මඳ උණුසුම් ජලයෙන් ඩයි දියකර ගන්න. කුඩා රෙදි කැබැල්ලක් බැවින් ඩයි බාත් එක සඳහා 2 l - 5 l (ලීටර් 2 - 5අතර) පමණ ජලය ප්‍රමාණවත් වේ. එම ජලයට Wetting Agents හෝ VIP ලුණු 300g දමා දිය කරගන්න. පසුව එයටම ඩයි මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරගන්න.

පසුව වතුර බේරාගත් නිර්මාණය මෙම ඩයි බාත් එක තුළ බහා විනාඩි 20 ක් පමණ හොඳින් පිරිමදින්න. වේලාව අවසන් පසු නිර්මාණය ඉවතට ගෙන සෝඩා ඈෂ් 150g භාජනයකට දමා බාත් එකේ ඇති ජලය ස්වල්පයක් ගෙන හොඳින් දියකර ගන්න. පසුව එම මිශ්‍රණය ඩයි බාත් එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.

අවසානයේදී නිර්මාණය නැවතත් බාත් එක තුළට දමා විනාඩි 45 ක් පමණ හොඳින් පිරිමදින්න. කාලය අවසන් වූ පසු ඉටි ඉවත්කර ගැනීම සඳහා හොඳින් නටන උණු ජලයේ බහා ඉටි ඉවත් කර සබන් ගා සෝදා මඳ පවනේ වියළා ගන්න.

(මෙම නිර්මාණයේ අලංකාරය වැඩි කර ගැනීම සඳහා රෙදි පින්තාරු තීන්ත වර්ගයකින් කළු පැහැයෙන් වටේට පින්තාරු කරගෙන ඇත.)

 

 

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා