කොරෝනා වෛරසයට දේශීය වෙදකමින් බෙහෙතක්

පාරම්පරික හෙළ වෙදකම ජාත්‍යන්තරයට යන ලකුණු
දෙසැම්බර් 9, 2020

වෛද්‍ය ධම්මික බණ්ඩාරගේ

කොරෝනා ප්‍රතිකාරයේ වර්තමාන තත්ත්වය

ඔක්ෆර්ඩ් සරසවිය දිවා රෑ වෙහෙසෙන්නේ කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමටය. ලුමුම්බා සරසවිය පරීක්ෂණ පවත්වන්නේ මේ රෝගයෙන් සුව වෙන ඖෂධයක් හඳුන්වා දෙන්නටය.

එහෙත් වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් ලෝකයට ම තවමත් සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගැනීමට අසීරු ඉලක්කයකි. එවැනි පසුබිමක මේ කුඩා ලක් දෙරණේ දේශීය හෙළ වෙදකමින් රෝගය සුව කරන වෛද්‍ය ක්‍රමයක් ගැන සුබ ලකුණු පෙන්වීම ලොවම මවිත කරන්නකි.

කොරෝනා රෝගය මුල්වරට අපේ රටේ පැතිරුණු අවස්ථාවේ එය ජනගහනයෙන් ඉතාමත් සුළු පිරිසකට පමණක් වැලඳී වළක්වා ගන්නට රජය, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කෝවිඩ් මර්දන බලකාය සමත්විය. මරණ සිදුවූයේද 11ක් පමණකි. එහෙත් දෙවැනි රැල්ල පැමිණි සැණින් මේ සියල්ල වෙනස් විය. ආසාදිතයින් සිය ගණනින් බිහිවීමත් දිනකට හතර පස් දෙනකු මරණයට පත්වීමත් සමඟ අපේ රටේද කොරෝනා බිය පැතිරිණි. මේ වනවිට රජය එය පාලනය කර ඇති නමුත් තවමත් ආසාදිතයින් තැනින් තැන වාර්තාවෙයි. වෛද්‍ය මතය වන්නේ එන්නතක් සොයා ගන්නා තෙක් තව වසර දෙකක් වත් කොරෝනා සමගින් අපට ජීවත් වීමට සිදුවනු ඇති බවයි.

එවන් පසුබිමක පසුගියදා ධම්මික බණ්ඩාර වෛද්‍යාචාර්යා කෝවිඩ් මර්දනය සඳහා බෙහෙතක් සොයාගත් පුවත අපේ රටේ පමණක් නොව ජාත්‍යන්තරවද අවධානයට ලක්වුණා. මේ පිළිබඳව විවිධ මත පලවෙද්දී ජනාධිපතිතුමන් ගේ අවධානය ඒ වෙත යොමුවීම සැබැවින්ම අපට සතුට ගෙන දෙන කාරණයකි. ඒ අනුව දැන් ඒ පිළිබඳව පුළුල් ලෙස පරීක්ෂණ පැවැත්වෙන අතර නුදුරු දිනයකදී එහි ප්‍රතිපල ලැබෙනු ඇත.

සැබැවින්ම අපේ හෙළ වෙදකමට ඇත්තේ දිගු ඉතිහාසයකි. එය පුලතිසි පඬිවරයාගෙන් පැවත එන ලෝකයේ කිසිම වෛද්‍ය ක්‍රමයකට නොදෙවැනි සාර්ථක වෛද්‍ය ක්‍රමයකි. ඒ ගැන විග්‍රහ කරන ඉතිහාසඥයන් අර්ථ දක්වන්නේ අපගේ වෛද්‍ය ක්‍රමය ඊටත් වඩා අතීතයට දිවෙන හිමාලයේ සෘෂිවරුවරුන්ගෙන් පැවත එන අභිමානවත් වෛද්‍ය ක්‍රමයක් බවයි. අද අප එහි තීරණාත්මක සංධිස්ථානයක් කරා පැමිණ තිබේ. අපගේ රටේ පාරම්පරික හෙළ වෛද්‍යවරයකු කළ වෛද්‍ය ප්‍රතිකාර තුළින් රෝගීන් සුව වු පුවතක් අපට අසන්නට ලැබුණේ දෙරණ රූපවාහිනිය කළ හෙළිදරව්වකිනි. එම ප්‍රතිකාර පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මඟින් සනාථ වී තිබීම කාගේත් කතාවට මාතෘකා වූ සිදුවීමකි. ඒ පිළිබඳ තවත් හොඳීන් තොරතුරු දැන ගැනීමේ අපේක්ෂාවෙන් අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කණ්ඩායමක් අරණායක ධම්මික බණ්ඩාර වෙද මහතා හමුවිය. එහිදී ඔහු සිදු කරන ප්‍රතිකාර ගැන ඔවුන්ට වඩාත් හොඳීන් අධ්‍යයනය කිරීමට හැකි වී තිබේ.

ඔවුන් එහි ළඟාවන විටත් අති විශාල පිරිසක් ඔහුගේ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි බවට අපට අනාවරණය කරන ලදී. ඉතාම කාර්යය බහුල වූ පසුබිමක ඔවුන්ට වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සමඟ කෙටි පිළිසඳරක යෙදීමට අවස්ථාව උදා විය. එහිද වෛද්‍යවරයා සිදු කරන ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ පවසා ඇත්තේ මෙලෙසිනි.

“මගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය හෙළ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් ..ඇත්තටම කොරෝනා

රෝගය සඳහා බටහිර වෛද්‍ය විද්‍යවේ පරීක්ෂණ සිදු කළත් මගේ ප්‍රතිකාර ක්‍රමය තුළ

පරීක්ෂණ කිරීමට වඩා වෙනස් වූ ප්‍රතිකාර ක්‍රමයක්. අපගේ වෛද්‍ය ක්‍රමය තුළ සිදු වන්නේ නියමිත රෝගය මුළින්ම හඳුනා ගැනීමයි. ඉන් පසුව අපගේ පාරම්පරික හෙළ වෙද වට්ටෝරු අනුව සකස් කළ ඖෂධ ප්‍රතිකාර නියමිත මාත්‍රාව අනුව ලබාදීම සිදු කරනවා.

මෙම වෛරස් රෝගය සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ රෝගය පැතිරීම ආරම්භ වුණු කාලයේදීමයි. ඒ කියන්නේ ගිය වසරේ දෙසැම්බර් මාසයේදීම මෙය ලෝකය පුරා පැතිරෙන රෝගයක් බව අවබෝධ වුණා.

අපේ රටේ මුල්ම රෝගියා හමු වුණේ සංචාරක ක්ෂේත්‍රයේ මඟ පෙන්වන නිලධාරියකුටනේ. ඔහුගේ කාමරයේ සිටි ආශ්‍රිතයන් 11 දෙනකුට ඔහුගෙන් මෙම රෝගය පැතිරෙනවා. ඔවුන්ගෙන් එක් අයකුට තමයි මුලින්ම මෙම ඖෂධ ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ. වතුපිටිවල රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර මෙම ඖෂධ මගේ සහ සම්බන්ධ අයට මුලින් ලබා දුන්නා. ඒ කියන්නේ මේ ඖෂධවල කිසිම අහිතකර දෙයක් හෝ බැර ලෝහ වර්ග අඩංගු නැහැ. මෙම ඖෂධ ප්‍රතිකාර වට්ටෝරුවට ඇතුළත් වෙන්නේ මී පැණි , සාදික්කා සහ තවත් දේශීය ඖෂධ වර්ග දෙකක්... මේ කිසිම ඖෂධයක් මිනිස් ශරීරයට අහිතකර හෝ අතුරු ආබාධ ඇති නොවන බව සහතික වෙන්න පුළුවන් . ඒ විතරක් නොවෙයි ඕනෑම කෙනෙකුට පරීක්ෂා කර බලන්නත් අවස්ථාව තිබෙනවා . මෙම ඖෂධ පානය කිරීමෙන් රෝගය නැති පුද්ගලයකුට වුණත් ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරනවා. මෙම ප්‍රතිකාරය ලබා දීමේ මාත්‍රාව රෝගය වැළඳුන අයෙකුට වඩා වැළඳීමට පෙර ගන්නා මාත්‍රාව වෙනස්. ඒක තමයි මෙම ඖෂධ ලබා ගැනීමේ ක්‍රමය.

 

සාමාන්‍යයෙන් රෝගය නැති කෙනෙක් දවසකට දෙවරක් මේස හැඳී 2 බැගින් ලබා ගැනීමත්, වයස අවුරුදු 6 වඩා අඩු ළදරුවකුට තේ හැඳී 1 බැගින් දවසට 2 වරක් ලබා ගත්විට මෙම රෝගය ඇඟට ඇතුළුවීවූ විට ඊට එරෙහිව ක්‍රියා කිරීමට ප්‍රතිශක්තිය ඇති වෙනවා.

මේ රෝගය ඇඟට ඇතුල් වුණාම පෙන්නුම් කරන රෝග ලක්ෂණ ගණනාවක් තිබෙනවා.උණ, කෑම අරුචිය, ඔලුව හිරි වැටීම , කැස්ස වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් මේ රෝගයේ පුර්ව ලක්ෂණ බව දැන් කවුරුත් දන්නවානේ. මෙවැනි අවස්ථාවක මේ ප්‍රතිකාර ලබාගෙන දින හයක් වැනි කාලයකින් පී .සී . ආර්. පරීක්ෂණයක් සිදු කළොත් දැන ගන්න පුළුවන් නියම තත්ත්වය. ඇත්තටම අපට මේ ඖෂධය හදන්න ලොකු කාලයක් ගත වෙන්නේ නෑ... මූලික ඖෂධ වර්ග කිහිපය සොයා ගත්තට පස්සේ එක් දිනයකින් හදන්න පුළුවනි. ඒ වගේම මේ ඖෂධ අපට සොයා ගැනීමත් අපහසු නැති නිසා ඕනෑම සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීමට හැකියාවත් තියෙනවා.

"ඔහුගේ මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇති සාර්ථකත්වය ගැන සම්පූර්ණ විශ්වාසය හෝ සහතික කරන්නට තවමත් කාලය මදිය. එහෙත් හෙළ වෙදකමින් රෝග සුව කිරීමට ඇති හැකියාව ගැන දැඩි විශ්වාසයක් හා බලාපොරොත්තු දල්වාගත් දහසක් වු ජනතාව මේ ගැන නොඉවසිල්ලෙන් සිටිති. මේ පිළිබඳ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වීමත් සමඟ ඔහු විසින් විශේෂ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව මෙම ඖෂධය ලෝකය පුරා බෙදා හැරීමට නම් විද්‍යානුකූල පරීක්ෂණයක් කළ යුතු බව විෂයභාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මෙම ඖෂධය නිෂ්පාදනය කළ වෛද්‍යවරයා සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායම හමු වූ අවස්ථාවේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වෛරසය පිළිබද අත්හදා බැලීමේ පරීක්ෂණ සඳහා විශේෂ නියාමනයක් යොදා තිබේ. ඒ පිළිබඳ අදහස් දක්වමින් වසංගත රෝග පාලන ආයතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූවේ මේ සඳහා විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් විසින් මෙම පරීක්ෂණය ඉතා කඩිනමින් සිදුකරන බවයි. එම පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ නියාමන නීතින්ට අනුකූලව බව ද සඳහන් කළේ එම කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පැවතීමෙන් අනතුරුවය.

 

තොරතුරු සහ ඡායාරූප සැපයීම අරනායක සමූහ

රෝහණ ජයරත්න