කෝවිඩ්වලින් ආරක්ෂා වෙන්න උපදෙස්

වැදගත් වන්නේ සෞඛ්‍යය පුරුදු නිසි ලෙස පළිපැදීමයි
දෙසැම්බර් 16, 2020

මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ගෙන්

කෝවිඩ් දෙවැනි රැල්ල ලාංකේය ජන දිවය සහමුලින්ම වාගේ වෙනස් කරන්නට සමත් වී ඇත. දැන් බොහෝදෙනා ජීවත් වන්නේ කුමන මොහොතක මේ බියකරු වෛරසයට තමන් ගොදුරු වේවිදැයි බියෙනි.

ඒ නිසාම බොහෝ අය මෙයින් බේරීමට යැයි කියා විවිධ දේවල් කරන්නට යයි. සමහරු මිත්‍යාව පසුපස දුව යති. ඒ නිසාම පවුලේ ආරක්ෂාව පිළිබඳව වගකීම කරටගත් කාන්තා ඔබ මේ පිළිබඳ හොඳින්ම දැනුවත් විය යුතුය. අපි මේ වසංගතයත් සමඟ ජීවිතයට හැඩගැසිය යුත්තේ කෙසේදැයි දැන්ගන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව සහ අනුක වෛද්‍ය විද්‍යාව පිළිබද පර්යේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මියගෙන් අදහස් විමසීමක් කළෙමු.

කෝවිඩ් දෙවැනි රැල්ලෙන් බේරීමට කාන්තාව සතු කාර්ය භාරය කුමක්ද?

නව කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන මේ කාලයේ තමන්ගේ සැමියාගේ දූ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ මූලික වගකීමක් ගෘහණිය ට පැවරී තිබෙනවා. වෙළෙඳපොළට හෝ වෙනත් දෙයක් සඳහා ගෙදරින් පිටට යන ගමන් වාර ගණන හැකිතරම් අඩු කරන්න. ඒ වගේම රංචුවක් ලෙස නොව තනිව යන්න. සුපර් මාර්කට්වල නම් කණ්ඩායමක් පමණයි එක විටෙක දී ඇතුළු කරගන්නේ. මුඛ ආවරණ පැලැඳ ගෙන ඇතුළු වීමට පෙර සබන් ගා අත් සෝදාගෙන ඉතාම ආරක්ෂාකාරීව ඇතුළුවන්න. පිටතට පැමිණි පසුව ද එලෙසම සබන් ගා දෑත් සෝදන්න. බඩු ගන්නා විට දී වෙනත් අය අතපත ගාන බඩු මූට්ටු අපට ද අතගෑමට සිදුවන බැවින් එසේ පිටතට ආපසු ද දෑත් සෝදාගත යුතුයි.

ඊළඟ දේ මුදල් පරිහරණය. මෙය ද ඉතාම ප්‍රවේසමෙන් සිදු කළ යුතුයි. මුදල් වෙනුවට ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් පරිහරණය මෙහිදී ආරක්ෂිතයි. නමුත් හැමෝටම ඒවා නැහැනේ. ඒ නිසා මුදල් අල්ලන වාරයක් පාසා දෑත් සබන් යොදා සෝදා ගන්න.

ගෙදර අසල කඩේට ගිය විටත් මේ දේවල් මේ විදිහටම කරන්න. ඒත් බොහෝදෙනාට ගෙදර ළඟ කඩේට ගියාම මේ සෞඛ්‍ය පුරුදු අමතක වෙනවා. අහල පහළ ගෙදරකටත් ගිහින් පුංචි කයිවාරුවක් ගහලා එන පුරුද්දක් තිබ්බා නම් දැන් ඒවා නතර කරන්න. පන්සලට, පල්ලියට, දේවස්ථානෙට, කෝවිලට ගියත් මේ සෞඛ්‍යය පුරුදු මේ විදිහටම ක්‍රියාත්මක කිරීම ඔබගේ ආරක්ෂාව තහවුරු කරයි. පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන අයත් බොහොම ප්‍රවේශම් විය යුතුමයි.

ඈත අතීතයේ සිට පැවැති දෙවියන්ගේ ලෙඩ නමින් හැඳින් වූ බෝවෙන රෝග සමඟ මෙහි බැඳීමක් තිබෙනවා ද?

පැපොල, සරම්ප එදා දෙවියන්ගේ ලෙඩ කියා හැඳින්වූවා. එවැනි රෝගයක් ඇති විට දී නිවෙසටම වී සිටිනවා. ගොක් රෑනක්, කොහොඹ අත්තක් එල්ලනවා. එහිදී ද දින 14 (සති දෙකක්) එළියට බහින්නේ නෑ. අද කෝවිඩ්වල දී ද නිරෝධායනය කළ නිවෙස අපේ මතකයට නඟන්නේ එයයි. සියවස් ගණනාවක් පැවැති දෙවියන්ගේ ලෙඩට පරෙස්සම්වූවා සේම කොරෝනාවලටත් ඒ පරෙස්සම හොඳයි.

එදා ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට අප පොඩි කාලෙ සිටම පහසු ක්‍රම අනුගමනය කළා. උදේට පාසලේ ව්‍යායාම කළේ 7.30-9.30 අතර කාලයේ දී. උදේ හිරු එළියෙන් ලැබෙන විටමින් සී අපේ ප්‍රතිශක්තියට අවශ්‍ය මූලික දෙයක්. නමුත් දහවල් 10 න් පසුව හිරු එළියේ පාරජම්බුල කිරණ තියෙන නිසා ප්‍රශ්න ඇතිවෙනවා. ඉතින් අපේ කාන්තාවන්ට මේ උදේ කාලයේ ගේ දොර අතුපතු ගෑම වත්තේ කිසියම් භෝගයක් වගා කිරීම වැනි දෙයින් අපේ ප්‍රතිශක්තිය වර්ධනයට දෙයාකාරයකින් උදව් වෙනවා. ඒ උදෑසන හිරු එළියෙන් විටමින් සී වගේම වැඩ කිරීමේ දී ඇතිවන ව්‍යායාමවලිනි.

ප්‍රතිශක්තියට අවශ්‍යම දෙයක් වන්නේ නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග සහිත සමබල ආහාර වේලක්. ඒත් අද බොහෝදෙනා ෆ‍්‍රයිඩ් රයිස්, ෂෝට් ඊට්ස්, නූඩ්ල්ස් වැනි දේවල් කෑමට පුරුදු වී සිටිනවා. ඒවායින් ශරීරයට වැඩියෙන් ලැබෙන්නේ පිටි හා තෙල් පමණයි. ඒවා සමබල ආහාර නොවෙයි. ප්‍රතිශක්තිය සඳහා සමබල ආහාර වේලක් අවශ්‍ය වෙනබව හැමෝම ආයෙ ආයෙත් මතකයට නඟාගන්න. අපි පොඩි කාලේ පන්තියේ ඉගෙන ගන්න විට දී ඇඳපු ආහාර වගු චිත්‍රය මතකද? එයින් කියන්නේ, අපට කියා දුන්නේ සමබල ආහාර වේලක වැදගත්කමයි.

විශේෂයෙන් කෝවිඩ්වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය සමබල ආහාර වේලකින් ලැබෙන අතර සමබල නොවන ෂෝට් ඊට්ස්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්වලින් පිෂ්ටය වැඩිවී දියවැඩියාව, රුධිර පීඩනය කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝගය වැඩි වැඩියෙන් ඇතිවෙනවා. ඊට පසුව කෝවිඩ් රෝගය බෝ වුණත් විවිධ සංකුලතා ඇති වන්නේ එවැනි අයටයි. කෝවිඩ් වලින් මිය යන්නේ කවුරුන් දැයි විමසුවහොත් එක් පිළිතුරක් වන්නේ වයස්ගත වීමයි. වයසට යාම අපට නවත්තන්න බෑ. අනෙක් කාණ්ඩය වන්නේ දියවැඩියාව, හදවත් රෝග, රුධිර පීඩනය, අධි ස්ථූලබව ආදී බෝ නොවන රෝග ඇති අයයි. මේ අය ව්‍යායාම කර, හොඳ සමබල ආහාර වේලක් ගන්නවා නම් මේ රෝග පාලනය වනවා පමණක් නොව ඒ අයගේ ප්‍රතිශක්තියත් වැඩිවෙනවා. සමහරු රෑ 12 -1 වෙනතුරු රූපවාහිනීයේ නොයෙක් දේ බලමින් රෑ මැදියම වෙනතුරු නිදිමරණවා. මේ නිදි මැරීම ද ප්‍රතිශක්තිය හීන වීමට උපකාරී වන්නක්. ඒ නිසා සුව නින්දක් ලැබ ප්‍රතිශක්තිය වර්ධනය කරගෙන කෝවිඩ් සමඟ ජීවත් වෙන්න පුරුදුවෙන්න.

ඉස්සර කාන්තාවන්ට දවස අවසන් වුවත් අහවර කරගන්න බැරි තරම් වැඩ තිබුණා. ඒත් කාලයත් සමඟ හැමදේම වෙනස් වෙලා අපේ කාන්තාව ටීවී එක ඉදිරියේ දවස ගෙවන්න පුරුදු වුණා. ඒ විතරක් නෙමේ රූ මැදියම වෙනකම් ටීවී බලන අයත් ඉන්නවා. මේකෙන් සිද්ධ වුණේ සමබල ආහාර අපෙන් ඈත් වුණා. ගෙදර වැඩ කිරීමෙන් ලැබෙන ව්‍යායාම නතර වුණා. සුව නින්ද අහිමි වුණා. ඉතින් අපේ රටේ බහුතරයක් බෝ නොවන රෝගවල ගොදුරුබවට පත් වුණා.

අපේ ශරීරය හැදිලා තියෙන්නේ ඔහොම එක තැනකට වෙලා ඉන්න නෙමෙයි. ඒ නිසයි අපි පුළුවන් තරම් සිරුරට ව්‍යායාම වන දේවල් කළ යුත්තේ. ඉතින් අපි මේ කාලයේ දී නිදන් ගත රෝගවලින් බේරීමත් එය පාලනය කරගැනීමත් මේ වෙලාවේ කළ යුතුම දෙයක්. එවිට කෝවිඩ් වැලඳුණත් සංකුලතා ඇති වෙන්නෙ නෑ. එයින් අපේ ජීවිතය රැකගන්න පුළුවන්. දැන් 146 පමණ කෝවිඩ්වලින් මිය ගිහින් තිබෙනවා. ඒ සැමටම නිදන් ගත රෝග තිබීම දකින්නට ලැබුණා. තරුණ වයසේ කිහිප දෙනකුත් මිය ගොස් තිබුණා. ඒ අයට පිළිකා එහෙම තිබිලා. ඒ නිසා දැන් පිළිකා සෑදීම පිළිබඳත් හිතන්න කරුණු තියෙනවා.

කොළඹ මහල් නිවාසවල අයට හැර ලංකාවේ වැඩි ප්‍රමාණයක් ජනතාවට මොනවා හරි සිටුවා ගන්න ඉඩ තියෙනවා. එයට උනන්දු වීමයි වැදගත් වන්නේ. ලෝකයේ කිසිම රටක වෙනත් රෝග නිසා සංකූලතා නැති 19 ට අඩු ළමයින් මිය ගියේ නෑ. සමහර රටවල සංකූලතා තිබුණ ළමයි මිය ගිහින් තියෙනවා. එය වෙනම කතාවක්.

ප්‍රතිශක්තිය වැඩි කර ගන්න අද බොහෝ අය බොහෝ දේ කියනවා. අපේ කාන්තාවන්ට උපදෙසක් ලෙස කළ යුතු නො කළ යුතු දේ පහදා දෙන්න?

හුමාලය, දුම් ඇල්ලීම මේ කෝවිඩ්වලට හොඳක් තිබේදැයි බලමු. හුමාලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 70 ක් පමණ වෙනවා. උගුරෙන් පහළට යන විට දී (ආස්වාස කළ විට) එය අංශක 37 පමණ වෙනවා.

දිගින් දිගටම හුමාලය ඇල්ලීමෙන් ස්වසන පද්ධතිය යේ සෛලවලට හානි ඇතිවිය හැකියි. අපි හිතමු කෝවිඩ් ආසාධිතයෙක් කියලා. කෝවිඩ් වෛරසය නාසයෙන්, උගුරෙන් තමයි ආසාදනය වන්නේ. එම වෛරසය සෛලයක් මත රැඳී විනාඩි 10- 15 ක් පමණයි සිරුරට ඇතුළු වීමට ගත වන්නේ. ඉතින් ගෙදර ගිහින් දුම් ඇල්ලූ විට ප්‍රමාද වැඩියි. එවිට සෛලවල තිබෙන වෛරසයට කිසි දෙයක් කළ නොහැකියි. දවසට තුන් වරක් දුම් ඇල්ලුවා කියමුකො. අංශක 37 පමණයි උගුරෙන් පහළට යන්නේ. ජනාකීර්ණ තැනක හෝ වැඩ පළක දී වෛරසය ශරීර ගත වුණොත් විනාඩි 10-15 අතර කාලයක දී ශරීරය ඇතුළට යන නිසා හුමාලය ඇල්ලුවා කියා වෙනසක් වන්නේ නෑ. එය ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ජනාකීර්ණ, පිටස්තර තැනකට යන විට දී වඩාත් සුදුසු වන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමයි.