වේදනා, අපහසුතා, නැතුවා නොවෙයි ඒත් ඒ හැමදේම හිනාවෙලා උහුලගන්න මට දැන් පුළුවනි

ජූලි 21, 2021

 

පිළිකා මාරයා සමඟ සටන් වදිමින් ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දෙන දිරිය ගැහැනිය චතූ මුණසිංහ තරුණීට කතා කරයි

 

මේ ජීවිතයේ මම දැකපු හීන තියෙනවා. ඒවා සම්පූර්ණ නොකර ම මට යන්න වේවි

ගැහැනිය මලක් මෙන් සුන්දරය. සුකොමළය. බැලූ බැල්මට ඇය බෙහෙවින්ම සියුමැලිය. නමුත් ඒ සියුමැලි පෙනුම යට සැඟවුණු ඇයගේ ආත්ම විශ්වාසය, මානසික ශක්තිය පුදුමාකාරය.

 

දියණියක, බිරියක, මවක, මිත්තණියක වෙමින් ජීවිතයේ භූමිකාවන් කිහිපයකටම පණ පොවනා ඕ මේ විවිධ භූමිකා හමුවේ ක්‍රියාකරනා ආකාරය සැබැවින්ම පුදුමාකාරය.

මේ ජීවිතයේ කටුක අත්දැකීම් හමුවේ හඬා වැටෙමින් වුව අපූරුවට සිනාසලන ගැහැනුන් අපට හමු වී තිබේ. විවිධ අභියෝගයන්ට ඉතාමත් සාර්ථකව මුහුණ දුන් එවන් අපූරු කාන්තාවන් බොහොමයක් ගැන අපි ඔබට අකුරු කර ඇත්තෙමු.

උදාරි චතුරිකා මුණසිංහ එහෙමත් නැතිනම් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩිදෙනකු දන්නා හඳුනන චතූ මුණසිංහ ද එවැන්නියකි. ජීවිතය ලබාදුන් දුෂ්කරම අභියෝගයට ද සිනාමුසු මුහුණින් මුහුණදෙන ඈ සමඟ කතාබහක නියැ‍ෙළන්නට අපට හැකියාව ලැබුණි.

ඉතාමත් වේදනාකාරී රෝගී තත්ත්වය හමුවේ කිමෝ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක වුව ඒ හමුවීම සැබැවින්ම ප්‍රියමනාපය. හඬනඟා සිනාසලමින්, එකදු සුසුමක් නොහෙළා, ළතැවුලක් නොගෙන, නොනැවතී කතා කරන්නට තරම් ඕ ධෛර්වන්තියකි.

ඉතින් කොහොමද චතූ...?

"වරදක් නෑ. ජීවිතේ හොඳින් ගෙවිලා යනවා. ඒකට මම සාර්ථකව මුහුණ දෙනවා. අපහසුතා, වේදනාවන් නැතුවා නොවෙයි. ඒත් ඒ හැමදේ හිනාවෙලා උහුලගන්න මට දැන් පුළුවනි."

 

ඔබේ රෝගී තත්ත්වය ගැන කතා කළොත්...

"ඇත්තටම මට තියෙන්නෙ ඉතා දරුණුම වර්ගයේ පිළිකාවක්. ඒ ගැන දැනගන්න විටත් එය මගේ අග්න්‍යාශය ආශ්‍රිතව ඇතිවෙලා පසුව අක්මාව දක්වාම පැතිරිලා ඉවරයි. මේ නිසා ශල්‍යකර්මයකටවත් මුහුණ දෙන්න බෑ. දැනට මාස කිහිපයක ඉඳන් කිමෝ ප්‍රතිකාර කරනවා. ඊට අමතරව මේ රෝගී තත්ත්වය ගැන හොඳ අවබෝධයක් සහිතව මා එයට සාර්ථකව මුහුණ දෙනවා."

 

ඔබට මේ රෝගී තත්ත්වය මතුවීමට ප්‍රථම පුංචිම හෝ අපහසුතාවක් දැණුනේ නැතිද?

"ගැහැනු අපි කවදද ශාරීරික අපහසුතා එතරම් ගණන් ගත්තෙ. ඇත්තටම කිව්වොත් මට පසුගිය වසරේ වරින්වර කොන්දෙ කැක්කුම, ගැස්ට්‍රයිටීස් අමාරුව එහෙම ආවා. අපි ඉතින් වැඩ කරනවානේ කියලා හිතලා ඔය බාම් ටිකක් ගාගත්තු වෙලාවල් තිබුණා. ඒත් පස්සෙ පස්සෙ මට කෑම රුචිය නැතිවුණා. චුට්ටක් කෑවත් බඩ පිරිලා වාගේ. අන්තිමේ උහුලාගන්න බැරි තරමට අපහසුතා මතුවෙද්දි තමයි පවුලේ වෛද්‍යවරයා මුණ ගැහුණේ. ඊට පස්සෙ පරීක්ෂණ කිහිපයක්ම අවසානයේ මේ රෝගී තත්ත්වය හඳුනාගත්තා."

 

රෝගය ගැන මුලින්ම දැනගත් ඒ වෙලාවෙ ඔයාට මොකද හිතුණේ?

"ඇත්තටම ඩොක්ටර් ඒ ගැන කියද්දි මට මුලින්ම හිනාවක් ගියා. ඒක ලොකුවට හිතට දැනුණේ නෑ. හැබැයි මම ගෙදර එනකොට චූටි දූ ඉස්සරහට එද්දි දරාගන්න බැරිවුණා. මොකද එයාට තාම අවුරුදු පහයි. අනේ ඉතින් එයාගේ ජීවිතයේ ලස්සන දවස්වලට මම නෑ නේද කියලා මතක් වෙලා මම කෑගහලා ඇඬුවා."

 

හැබැයි ඔයාගේ ලොකු දූ මේ තත්ත්වයට මුහුණ දුන්නෙ හරිම සන්සුන්ව.

"අම්මා කෙනෙක් විදිහට මම හරිම සාර්ථකයි කියලා හිතෙන්නෙම මේ වෙලාවෙ මගේ දූගේ හැසිරීමත් එක්ක. එයාට දැන් අවුරුදු 15ක්. ඒත් එයා මගේ හිත හැදුවෙ හරිම මුහුකුරා ගිය විදිහට. ඒ ගැන මට තියෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්. එයා තමයි මට කියන්නෙ "අම්මි ඔයා ඇයි ඔහොම කාමරයට වෙලා අඬන්නෙ. හිත ශක්තිමත් කරගන්න. ඔයාට අපිව දාලා යන්න වෙන්නෙ නෑ. වෙනදා වාගේ සතුටින් හිනා වෙලා ඉන්න. ඔයා හිනාවෙලා නොහිටියොත් අපි කොහොමද මේ ගෙදර ජීවත් වෙන්නෙ" කියලා. ඉතින් එයාගේ ඒ වචන ටික මට මාර ආත්ම ශක්තියක් අරගෙන ආවා."

ඒ කියන්නෙ ඔයා හරිම වාසනාවන්ත අම්මෙක්?

"අනේ ඔව්. මට අද මේ ජීවිතයෙන් සමු අරන් යන්න වුණත් දුකක් නෑ. මොකද මම හරිම ආදරණීය අම්මෙක්. මගේ දරුවන් දෙන්නාටම මම දැනෙන්න ආදරය කළා. ඇත්තටම අපි මව්පියන් විදිහට දරුවන්ට සීමාවකින් තොරව ආදරය කරන්න ඕනේ. අගය කරන්න ඕනේ. විශ්වාස කරන්න ඕනේ. මොකද අපිට දරුවෝ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ."

මේ විදිහට හිතන්න ඔයාගේ ළමා කාලය හේතුවක් වුණා කිව්වොත්...

"ඇත්තටම ඔව්. මගේ අම්මා හරිම සැරයි. අපි දෙන්නා අතර සමීප සම්බන්ධතාවක් තිබුණේම නෑ. මගේ අම්මා කවදාවත් මාව ළඟට අරන් තුරුලු කරගෙන නෑ. මාව අගය කළේ නෑ. දියණියක් විදිහට මම ඒ ගැන පුදුමාකාර දුකකින් හිටියේ. මොකද මගේ තාත්තා රැකියාව නිසා වැඩි කාලයක් විදේශගතවෙලා හිටියේ. මට තාත්තා හරි ආදරෙයි. ඒත් ඉතින් එයා ළඟ නැහැනේ. ආදරය, විශ්වාසය වෙනුවට දඬුවම් හිමි වීම මට දරාගන්න බැරි වුණා.

 

ඔබ වතාවක් සියදිවි හානිකර ගන්න උත්සාහ කළා.

"මට මේ ජීවිතය එපා වෙච්ච කාලයක් තිබුණා. ඇත්තටම කිව්වොත් යෝජනාවක් අනුව මගේ පළමු විවාහය සිදුවුණේ පාසලින් සමුගන්නවාත් සමඟමයි. වයස අවුරුදු 19 වනවිට මගේ ලොකු දුව ලැබිලා. අපි හිටියෙත් විදේශ රටක. ළාබාල වයසෙන්ම අම්මෙක් වෙලා, නොගැළපෙන අදහස්, වැරැදි තෝරා ගැනීම් ආදී වශයෙන් පුදුමාකාර මානසික පසුබෑමකට මම ලක්වුණා. ඉතින් ජීවිතය දාලායන්න උත්සාහ කිරීම පුදුමයක් නෙමෙයි."

 

ඔබ නැවත ලංකාවට ආවා.

"අපි අතර නොගැළපීම් තිබුණු නිසා තවදුරටත් ඒ විවාහය පවත්වාගෙන යන්න බැරිවුණා. මමයි, දුවයි ලංකාවට ආවා. අපි දෙන්නම නැවත විවාහ වුණා. තව අදටත් ඔහු දියණිය, අපි ගැන සොයා බලනවා. ඔහුගේ පවුලේ අය මේ වෙලාවෙ මගේ හිත ශක්තිමත් කරනවා. ඉතින් අදහස් නොගැළපීම් නිසා වෙන්වුණාට අපි අතර වෛරයක් නෑ."

 

ඔබ අද දවසේ හරිම තෘප්තිමත්.

"ජීවිතයේ විවිධාකාර හැල හැප්පීම්වලට පස්සෙ ඉතාමත් සතුටු ජීවිතයක් මට ලැබුණා. අර්ජුන් මට පුදුමාකාර විදිහට ආදරේ කරනවා. එයා මාව මාර විදිහට තේරුම් ගත් කෙනෙක්. නාවික ඉංජිනේරුවෙක් වුණු එයා ඒ වෘත්තියෙන් සමුඅරන් ව්‍යාපාරිකයෙක් වුණේ අපි ළඟ නිතරම රැඳෙන්න ඕනේ නිසයි. ඇත්තටම කිව්වොත් අර්ජුන් සහ මගේ දූලා නිසයි මම ජීවත් වෙනවා කියලා දැණුනෙත්. අපි හරිම ආදරණීය පවුලක් ගොඩනඟා ගත්තා. ගැහැනියක් ආත්ම ගණනාවක් ප්‍රාර්ථනා කරන්න ඕනේ විදිහේ පවුලක් මට ලැබුණා.

අර්ජුන් විතරක් නෙමෙයි එයාගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ මට හරියට දැනෙනවා. ඒ අම්මාට‍, තාත්තාට මම හැම තිස්සෙම පින් දෙනවා මේ වාගේ හොඳ සැමියෙක් මට ලබා දුන්නාට."

චතූ කියන්නේ පුදුමාකාර මානසික ශක්තියක් තියෙන ගැහැනියක් කියලා මම කිව්වොත්.

"සහතික ඇත්ත. මට හොඳ මානසික ශක්තියක්, දරාගැනීමක් තියෙනවා. ගැහැනු අපි අනෙක් අය හිතනවාට වඩා හරිම ශක්තිමත්. පොඩ්ඩක් හිතන්නකො. පිරිමි පාර්ශ්වයට එක සැරයකට කරන්න පුළුවන් එක වැඩයි නේද? ඒත් ගැහැනු එහෙම නෑනේ. රස්සාවල් කරගෙන දරුවොත් හදාගෙන, ගෙදර දොර වැඩ කරගෙන කොයිතරම් නම් වැඩ කරනවාද? ආහාර පිසින ගමන්, රෙදි හෝදන, දරුවන් නළවන අම්මලා අපමණයි නේද?

පොඩ්ඩක් හිතන්නකෝ. මම දැන් මේ ලෙඩේ ගැන හිත හිතා මරණය ගැන ප්‍රාර්ථනා කරමින් හිටියොත් මගේ දරුවන්ට, සැමියාට දුක්බර දවස් ටිකක් තමයි මතකයට ඉතිරි වෙන්නෙ. හැබැයි අද කළයුතු දේ අදම කරලා සතුටින් හිටියොත් එයාලට මම ඉතුරු කරලා යන්නෙ සතුටු දවස් ටිකක්නෙ. එතකොට මම ගියත් යන්නෙ සතුටින්. මම නැතත් අපි කට්ටියම එකතු වෙලා යන්න හිටපු ගමන එයාලා යයි.

 

ඒ කියන්නෙ දුකක්, කනගාටුවක් ඇත්තෙ ම නැද්ද?

"නැත්තෙ නෑ. මට තාම අවුරුදු 34 යි. මේ ජීවිතයේ මම දැකපු හීන තියෙනවා. සමහරවිට ඒවා සම්පූර්ණ නොකරම මට යන්න වේවි. විශේෂයෙන්ම මගේ දරුපැටවුන්ගෙ ලස්සනම දවස්වලට සහභාගි වෙන්න මට බැරිවේවි. ඒවා කනගාටුවට කාරණා."

 

හැබැයි ඒවා ගැන හිතලා ඔබ දුක් වෙන්නෙ නෑ.

"නෑ. මට කරන්න බැරිවෙන දේවල් ගැන හිත හිතා කනගාටු වෙනවාට වඩා අද දවසේ ජීවත් වෙන්නයි මට ඕනේ. මට දරුවන් වෙනුවෙන් හෙට දවසේ කළයුතු වැඩ කරන්න බැරිවුණත් අද දවසේ එයාලත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවනිනේ. එයාලා එක්ක සෙල්ලම් කරන්න, ඇවිදින්න, එයාලට උයන්න, පිහින්න, එයාලාව සතුටින් තියන්න ඒ වාගේ දේවල් කරන්නයි මට ඕනේ. අපි ප්‍රායෝගික වෙන්න ඕනේ.

මම හැමතිස්සෙම හිතන්නෙ, මේ කරන්න ආපු ජොබ් එක හරියට කරලා ආපහු මගේ ගෙදරට යන්න ඕනේ කියලයි."

 

මේ සටහන කියවන අපේ කාන්තාවන්ට දෙන්න පණිවිඩයක් ඇති නේද?

මම හැම කාන්තාවකටම කියන්නෙ හිතට එකඟව වැඩ කරන්න. එවිට දුක් වෙන්න වෙන්නෙ නෑ. අනෙක් අයට පේන්න වැඩ කරන්න එපා. තමන්ට ගැළපෙන දේ කරන්න. දරුවන්ට, පවුලට ආදරය කරන්න. හැබැයි ඒක සඟවාගෙන ඉන්න එපා. ඒ ආදරය පෙන්වන්න. ලැබෙන හැම මොහොතක්ම විඳින්න. අනෙක් අයට අමිහිරි මතකයන් ඉතිරි කරන්න එපා. හැමදාමත් සතුටින් ඉන්න.

සැබැවින්ම ඇගේ කතාවෙන් සහ හැසිරීමෙන් අප සිතට ගත යුතු එක දෙයක් ඇත. ඒ සිත ඇති ගැහැනියකට මහ මෙරක් තරම් දුක් කන්දරාවක් වුව දරාගනිමින්, සුන්දර ලෙස සිනාසී ජීවිතයට මුහුණ දිය හැකි බවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.