ප්‍රීබයොටික් ප්‍රෝබයොටික් පොලිෆෙනෝල් අපේ සුවසෙතේ ගැලවුම්කරුවන්

ජනවාරි 2, 2019

ආහාරපානවලින් මේස පිරුණු උත්සව කාලයේ වඩාත් ප්‍රණීත රස තෝරා ගැනීමට වැඩිපුරම අපේ දිව වෙහෙසෙනවා වාගේම අපේ උදරයටත්, බඩවැල්වලටත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.

උදරය රෝගී නොවන්නට නම් අපේ බඩවැලේ සිටින හිතකර බැක්ටීරියාවන් ද පෝෂණය කළ යුතුයි. එහෙත් වැඩි දෙනෙක් ඒ ගැන සිතන්නේ නෑ.

අපේ බඩවැල්වල ජීවත්වන හිතකර බැක්ටීරියාවන් අප නොදැනුවත්වම කිහිප ආකාරයකින් විනාශ කර ගන්නවා.

1. එක් ආකාරයක් ප්‍රතිජීවක ගැනීම.

බැක්ටීරියා ආසාදනයකට, සැත්කමකින් පසු ප්‍රතිජීවක බොහෝ විට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. සමහරු ඉක්මන් සුවය පතා හිතුමතයටත් අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ලබා ගන්නවා. මේ සියල්ලෙන් සිදුවන්නේ හිතකර බැක්ටීරියා විනාශවීමයි. දහස් ගණනක් වෙනස් වර්ගවල බැක්ටීරියා ට්‍රිලියනකට පමණ අපේ බඩවැල සරු භූමියක්. මේවා බඩවැලට නැතිවම බැහැ.

2. විවිධත්වයෙන් යුතුව ආහාර නොගැනීම.

එළවළු, පලතුරු, ධාන්‍ය, පලා වර්ග දිනපතාම අපේ ආහාර වේලට එක්කර ගන්නන් සිටින්නේ කෙතරම් අඩු සංඛ්‍යාවක් ද? මෙසේ විවිධත්වයෙන් ආහාර ගැනීමෙන් හිතකර බැක්ටීරියාවන් වර්ධනය වේ. අමෙරිකාවේ යුරෝපයේ ජීවත්වන්නන්ගේ බඩවැල්වල ජීවත් වෙනවාට වඩා වැඩි හිතකර බැක්ටීරියා ප්‍රමාණයක් අප්‍රිකාවේ සහ දකුණු අමෙරිකාවේ ජීවත් වන්නන්ගේ තිබෙනවා. ඒ අමෙරිකාවේ, යුරෝපයේ ජීවත් වන්නන්ට වඩා විවිධත්වයකින් යුතුව අනෙක් ජාතීන් ආහාර ගන්නා නිසයි. විවිධත්වයක් නැතිව ආහාර ගැනීම හිතකර බැක්ටීරියා වර්ධනයට බාධාවක් මෙන්ම පෝෂණ ඌනතා ඇතිවීමට ද හේතුවක්.

3. ප්‍රීබයොටික්ස් අඩුවීම

ප්‍රීබයොටික්ස් කියන්නේ ජීර්ණය නොවී සිරුරෙන් බැහැර වන තන්තු. මේවා හිතකර බැක්ටීරියාවන්ගේ වර්ධනය ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා. පලතුරු, එළවළු, පොත්ත සහිත ධාන්‍යවල ස්වාභාවිකවම ප්‍රීබයොටික් කෙඳි අඩංගු වෙනවා.

ප්‍රීබයොටික්වලින් පොහොසත් ආහාර

* පරිප්පු, මුං ඇට, බෝංචි

* ඕට්ස්

* කෙසෙල්

* සුදුලූනු

* ලීක්ස්

* ලූනු

* ඇට

තරබාරු කාන්තාවන් තිස් දෙනකුට දිනපතා ප්‍රීබයොටික් පෙති දීමෙන් හිතකර බැක්ටීරියා වර්ධනය වී ඇති බව සොයා ගෙන තිබෙනවා. ප්‍රීබයොටික් තන්තු කෙටි මේද අම්ල දම්වැල් සෑදීම ද වැඩි කරනවා. මේවා බඩවැල්වල, සෛල වර්ධනයට අවශ්‍ය ප්‍රධාන පෝෂකයක්. මෙමඟින් බඩවැල් ආශ්‍රිත පිළිකා වළකිනවා. එපමණක් නොව රුධිරයේ ඉන්සියුලින් මට්ටම අනවශ්‍ය ලෙස ඉහළ නැඟීමත්, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැඟීමත් වළක්වනවා.

4. අධික ලෙස මත්පැන් ගැනීම

මධ්‍යසාර කියන්නේ අධික විස, ඇබ්බැහිවෙනසුලු, කායිකව සහ මානසිකව අහිතකර ලෙස බලපාන අහිතකර පානයක්.

මත් වතුර මඟින් විශාල වශයෙන් අන්ත්‍රවල හිතකර බැක්ටීරියා විනාශ කෙරෙනවා.

5. ව්‍යායාම නොකිරීම

නීරෝගිකම සුරක්ෂා වන්නේ ව්‍යායාම කළ විටයි. ඇවිදීම, ගෙවතු වගාව, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාමවල යෙදීම වැදගත් වන්නේ මේ නිසා. හොඳින් ව්‍යායාම කරන විට හිතකර බැක්ටීරියා වර්ධනය වෙනවා. ක්‍රීඩකයන්ට හිතකර බැක්ටීරියා වැඩිපුර තිබීම මීට කදිම උදාහරණයක්.

6. දුම්පානය

දුම්වැටියේ දහස් ගණන් විස රසායන තිබෙනවා. ඉන් සියයට හැත්තෑවක් පිළිකාවලට හේතු වෙනවා. සිරුරේ සෑම අවයවයකටම දුම් පානයෙන් අහිතකර ප්‍රතිඵල ඇතිවන අතර එය බඩවැල් ප්‍රදාහයට පත්වීමට ද ප්‍රධාන හේතුවක්. එලෙසින්ම දුම්පානය නිසා බඩවැල්වල හිතකර බැක්ටීරියා මර්දනය වෙනවා.

7. ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම

අපේ සකලවිධ සෞඛ්‍යයට නිසි නින්දක් නැතිවම බැහැ. සුව නින්දක් රාත්‍රියට නොලැබීම, තරබාරුකම, හෘදයාබාධ වැනි නොයෙක් රෝග තත්ත්වයන්ට හේතු වෙනවා.

සිරුරේ දෛනික ක්‍රියාවලිය නිසිලෙස සිදුවන්නේ සුවබර නින්දක් ලබා ගත් විටයි. උදරය ද මේ දෛනික ක්‍රියාවලියට ඇතුළත්. අඩු නින්ද, රෑ වැඩ මුර, රාත්‍රියට ප්‍රමාද වී ආහාර ගැනීම අන්ත්‍රයේ හිතකර බැක්ටීරියාවන්ට හානි කරයි.

දවස් දෙකක් කෙනකු නිිදිමැරුවත් එය බඩවැල්වල හිතකර බැක්ටිරියාවන්ට බලපානවා. මෙහිදී හිතකර බැක්ටීරියා මර්දනය වෙන අතර අහිතකර බැක්ටීරියා වර්ධනය වැඩි වෙනවා.

8. අධික ආතතිය

සුවසේ ජීවත්වීම කියන්නේ සමබල ආහාර ගැනීම, කායික ව්‍යායාම කිරීම පමණක් නොවේ, ආතතියට ද වැදගත් තැනක් හිමි වී තිබෙනවා. අධික ආතතියෙන් අන්ත්‍රවල හිතකර බැක්ටීරියා අඩු වෙනවා. මෙයින් ක්ලොස්ට්‍රීඩියම් වැනි හිතකර බැක්ටීරියා වැඩි වී ලැක්ටොබැසිලි වැනි හිතකර බැක්ටීරියා අඩුවෙනවා.

 

* මවුකිරි අඩු වශයෙන් මාස හයක්වත් දෙන්න

උපතින්ම දරුවාගේ අන්ත්‍ර බැක්ටීරියාවලින් සාරවත් කිරීමට අඩු වශයෙන් හය මාසයක්වත් මවක් දරුවාට මවු කිරි පමණක්ම දිය යුතුයි.

* පොලිෆෙනෝල්ස් ද උදර ආන්ත්‍රික හිතකර බැක්ටීරියා වර්ධනය කරනවා. කොකෝවා, ඩාර්ක් චොකලට්, මිදි ගෙඩියේ පොතු, ග්‍රීන් ටී, ආමන්ඩ්, ලුණු, බ්ලූබෙරි, ගෝවා මල්, පොලිෆෙමෝල්වලින් පොහොසත්.

කොකෝවාවල අඩංගු පොලිෆෙනෝල්ස් බිෆැඩොබැක්ටීරියා, ලැක්ටොබැසිලි වැඩි කරනවා. හානිකර ක්ලොස්ට්‍රීඩියා වැනි බැක්ටීරියා අඩු කරනවා. පිළිකා කාරක ට්‍රයිග්ලිසරයිඩ අඩු කරනවා. ප්‍රදාහයන් අවම කරනවා.

ප්‍රෝබයොටික් එක් කළ ආහාර ද නීරෝගි සුවය පවත්වා ගැනීමේදී ඉතා වැදගත්. ප්‍රොබයොටික් පෙති වශයෙන් මෙන්ම ආහාරවලට එක්කර ද ගත හැකියි.

 

 

අන්තර් ජාලයෙනි