ගුරු දෙගුරුන් බැති පෙම් උපදවා ඇති කර ගත යුතු කුසලතා

ජනවාරි 23, 2019

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව. දරුවා බොරු කියා අසු වූ විට අම්මා හඳුන්කූරුවලින් දරුවාගේ මූණේ තැනින් තැන පුච්චනවා.

පාසලේ ක්‍රිකට් පුහුණුකරු දරුවා හරියට පුහුණු වුණේ නැති නිසා පිත්තෙන් ඇසට පහර දීලා. දරුවා රෝහලට රැගෙන ආවේ පාසලේ විදුහල්පති. පුතා අඳ නොවුණේ අනූනවයෙන්. පුතුට පාසලේ අයියා කෙනෙක්ගෙන්, එසේත් නැත්නම් සමීපතම ඥාතියකුගෙන් අපචාරයක් වූ විට පිරිමි දරුවන්ට පවිත්‍රතා පටලයක් විවාහයේදී පෙන්වීමට අවශ්‍ය නැති නිසා, පිරිමි දරුවන් ගැබ් නොගන්නා නිසා අම්මලා තාත්තලා සිදුවීම වැලි ඇටයක් තරමින් හෝ ගණනකට ගන්නේ නැහැ. මේ සිදුවීම් සියල්ල පසුපස ළමා හිංසනය සහ ළමා අපචාරවල අඳුරු සෙවනැලි වැටී තිබෙනවා.

පිරිමි දරුවන් දැන් ගැහැනු දරුවන්ටත් වඩා ලිංගික අපචාරවලට ලක් වෙනවා. මේ ලෝකයටම පොදු තත්ත්වයක්. අතවරයට පත් දරුවාගේ කායික මානසික අසීරුතාවන්ට වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගත්තොත් ඒ දරුවා මතු අනාගතයේ් තවත් දරුවන්, ඇතැම් විට පවුලේම සහෝදරයන් අපචාරයට ලක් කරනවා. හිංසනයට පත් දරුවා හිංසකයෙක් බවට පත් වෙනවා.මේ අවදානම ගැන මාපියන් අවධානය යොමු කරන්නේම නැහැ.

ගුරුවරයා හා හා පුරා කියා පාසලේ පළමු පන්තියට ඇතුළත් කරන දරුවා දඟ වැඩි බව පවසා විදුහල්පති ළඟට ගෙනි යන්නේ මාසයක්වත් යන්න කලින්.. එදිනම දරුවාට ඉගෙනීමත්, පාසල් යාමත් එපා වෙනවා.

ගුරු දෙගුරු යනු මවුපියන් හා ගුරුවරුන්. මේ දෙපිරිසම තමන් සතු විය යුතු කුසලතාවලින් පොහොසත් නොවන්නේ නම් දරුවා ලෝකයෙන් සිදුවන හිංසනයෙන් වළක්වා ගත්ත ද නිවෙසේදී පාසලේදී සිදුවන හිංසනයෙන් වළක්වා ගන්න බැහැ. සෑම මවක් පියෙක්ම, ගුරුවරයෙක්ම මෙසේ නොවුණ ද මෙවැනි පිරිසක් ද අප අතර සිටිනවා. කුසලතාවලින් පිරිපුන් වීම ඒ අයට ඉතා වැදගත්.

* මාපිය කුසලතා

* දරුවාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න

දරුවන් තමන්ව දකින්නේ මාපියන්ගේ දෙනෙතින්. හඬේ ස්වභාවයෙන්. මාපිය ගුරුවරුන්ගේ සිරුරින් කියවෙන දෙයින්. (බොඩි ලැන්ග්වේජ්). ගුරු දෙගුරුන්ගේ සෑම හැඟීමක් ම දරුවන් ස්පොන්ජියක් මෙන් උරාගන්නවා. මාපියන්ගේ වදන් සහ ක්‍රියා කලාපය අන් සියල්ලටම වඩා දරුවාගේ වර්ධනයට බලපානවා.

"මෝඩ වැඩ කරනවා", "මෝඩයෙක්", "නංගිට මල්ලිටත් වඩා පොඩියි වගේනෙ වැඩ කරන්නෙ" මේ වගේ විවේචනාත්මක කතා දරුවන්ට නොකිය යුතුයි. දරුවන් ඉදිරියේ වචන භාවිත කළ යුත්තේ පරෙස්සමෙන්. සියල්ලන්ම වැරැදි කරන බවත්, කළ යුත්තේ වැරැදි නිවැරැදි කරගැනීම බවත් තේරුම් ගැනීමට දෙන්න. වැරැදි කළ ද ආදරය නොඅඩුව දක්වන්න.

* හොඳ දේ අගයන්න

බොහෝ ගුරු දෙගුරුන් කරන්නේ දරුවන් ව්වේචනය කිරීම හා වැරැදි දැකීමයි. දරුවන්ගේ හොඳ දේ අගය කරන්න, ආදරයෙන් තුරුලු කර ගැනීම, පුංචි හාදුවක් දීම වැනි ක්‍රියාකාරකමක් එවැනි විටක දරුවාට දීමට හැකි හොඳම තෑගියි.

* ආචාර ධර්ම පද්ධතියක්

ඇති කිරීම

දරුවකු ආචාර ධර්ම පද්ධතියකට හුරු කිරීම ආත්ම සංයමයට, යහපත් හැසිරීමකට දරුවා යොමු කරන මඟක්. උදා: පාසලේ ගෙදර වැඩ නිම කරනතුරු රූපවාහිනිය නැරැඹීමට නොදීම.

2019/01/23 තරුණි බලන්න.