ඊස්ට්‍රජන් අඩුවීමෙන් ගැටලු රැසක් ඇති වෙනවා

ජනවාරි 30, 2019

කවියට, ගීයට, සිතුවමට වස්තු විෂය වූ සුන්දරත්වයකට කාන්තාවකට හිමිකම් කීමට ලැබෙන්නේ ඇයගේ සිරුරට නාරි ලාලිත්‍ය එක්කරන හෝර්මෝන නිසයි.

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නම් ප්‍රධාන කාන්තා හෝර්මෝන නිසා ඇයට දරු සුරතල් බැලීමේ වාසනාව ද හිමි වෙනවා. කාන්තාවකගේ සරු බවට, සුන්දරත්වයට හේතු වන මේ හෝර්මෝන අඩු වැඩි වීම ඇයගේ දිවියට සිදු කරන්නේ සුළුපටු බලපෑමක් නොවෙයි.

* ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩු වුණොත් . . .

* ආර්තවය නතර වෙනවා.

මේ ඊස්ට්‍රජන් මට්ටම සිරුරේ අඩු වූ විට ඇතිවන ප්‍රධානම ලක්ෂණය වන්නේ ආර්තවය නතරවීමයි. ඊස්ට්‍රජන් මට්ටම අඩු වූ විට රුධිරය පිට වන්නේ අඩුවෙන්. එසේ නැත්නම් සිදු වන්නේම නැහැ.

ඊස්ට්‍රජන් හෝර්මෝන නිසා සෑම මාසයකම ගර්භාෂ ආස්තරණය ඝන බවට පත් වෙනවා. මාසිකව ඉවත් වන්නේ ඒ ඝන වූ ආස්තරණයයි. එහෙත් ඊස්ට්‍රජන් මට්ටම අඩු වී ආස්තරණය ඝන නොවූ විට ඔසප් වීම සිදු වන්නේ නැහැ.

* සිතිවිලි වෙනස් වෙනවා

ඊස්ට්‍රජන් බලපෑම් කරන්නේ ඔසප් චක්‍රයට පමණක් නොවෙයි. එය මානසිකත්වයට ද බලපෑම් සිදු කරනවා. විටෙක සතුටින් සිටීම තවත් වරක අසහනයෙන්, කෝපයෙන් සිටීම මේ අය අතර සුලබයි. වෙනදා නැති වෙනස් වන මානසිකත්වයේ රහස ඊස්ට්‍රජන් අඩුකම වීමට ඉඩ තිබෙනවා.

* දැඩි වෙහෙසක් දැනෙනවා.

*නින්දේ ගැටලු පැන නඟිනවා

ඊස්ට්‍රජන් හෝර්මෝනය මොළයෙන් නිපදවන සෙරොටනින් රසායනය සමඟ සම්බන්ධයි. සෙරොටනින් මඟින් නින්දට උපකාරී වන මෙලටොනින් හෝර්මෝනය නිපදවනවා. නිදි හෝර්මෝනය හෙවත් සෙරොටනින් නිපදවීම අඩු වූ විට නින්දේ ගැටලු පැන නඟිනවා. දැඩි වෙහෙසක් ද දැනෙනවා.

* විෂාදය ඇති වෙනවා

සෙරොටනින් විෂාදයෙන් කාන්තා පක්ෂය බේරා ගැනීමට ද උපකාරී වෙනවා. ඊස්ට්‍රජන් අඩු වූ විට සෙරොටනින් ද අඩුවෙන නිසා විෂාදීය හැඟීම් ද දුරු වන්නේ නෑ.

* පෙම් කිරීමට බාධාවක්

සරාගී සිතිවිලි ඇතිවීමටන් සෙරොටනින් බලපානවා. රුධිරයේ අඩු මට්ටමකින් සෙරොටනින් ඇතිවිට සරාගී ආශාවන්වලින් හිත හිස් වෙනවා.

* ප්‍රේමයේ වේදනාව

කායික සබඳතා පැවැත්වීමේදී යෝනි පෙදෙසේ වේදනාවක් ඇති වෙනවා. මීට හේතුව ඊස්ට්‍රජන් ප්‍රමාණවත් තරම් නැති වි යෝනි මඟ වියළීමයි. තවත් හේතුවක් වන්නේ අඩු ඊස්ට්‍රජන් මට්ටම නිසා යෝනි බිත්තිවල ආස්තරණ ද තුනීවීමයි.

* දෑස් වියළෙනවා

දෑසේ නිපදවන කඳුළු ප්‍රමාණය තීරණය වන්නේ සිරුරේ නිපදවෙන ඊස්ට්‍රජන් හෝර්මෝන ප්‍රමාණය මතයි. ඊස්ට්‍රජන් අඩු විට අඩුවෙන් කඳුළු නිපදවෙන අතර දෑස වියළෙනවා.

* සම වියළියි

සමෙහි තෙතමනය රැක ගැනීමට ඊස්ට්‍රජන් උපකාරී වෙනවා. ඒ සමේ ඇති ස්වාභාවික අම්ල ගතිය වැඩි කිරීමෙන්. ඊස්ට්‍රජන් අවම වූ විට මේ ක්‍රියාවලිය අවම වෙනවා.

* රාත්‍රියට දහදිය දමනවා

ආර්තවහරණය වූ පසු රාත්‍රියට ඇතිවන ඇඟේ දැවිල්ල, දහදිය ගැලීම පොදු ලකුණු වෙනවා. මෙය ආර්තවහරණයේ පූර්ව ලකුණක් ද වෙනවා. ඊස්ට්‍රජන් අඩු වූ විට ද මෙසේ සිදු වෙනවා. අඩු ඊස්ට්‍රජන් මට්ටම නිසා රාත්‍රියට දහදිය වැඩිපුර දමනවා. සිරුරේ අවශ්‍ය තරමට ඊස්ට්‍රජන් නැති විට උෂ්ණත්වය පාලනය කරන මොළයේ හයිපොතැලමස් කොටසට බලපෑම් සිදු වෙනවා. ප්‍රතිඵලය අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාමයි. මෙවිට අධික ලෙස දහදිය දමනවා. නින්දේ ගැටලු ඇති වෙනවා.

* අවධානය යොමු කළ නොහැකියි

ස්නායු සම්ප්‍රේෂකවල දුර්වල ක්‍රියාකාරිත්වය නිසා සිත එකඟ කර ගැනිමට, අවධානය යොමු කිරීමට අසීරු වෙනවා. එය නිසි ලෙස නින්ද නොයාමේ ද අතුරු ප්‍රතිඵලයක්.

* නිතර හිසරදය සෑදෙනවා

කාන්තාවක වීමම හිසරදය සෑදිමට සහ මිග්‍රේන් සෑදීමට හේතුවක්. ඊස්ට්‍රජන් මට්ටම අඩු වැඩි වශයෙන් දෝලනය වීම මීට ප්‍රධාන වශයෙන් බලපානවා. ආර්තවය පටන් ගැන්මට පෙර බොහෝ දෙනෙක් හිසරදය අත් දකිනවා. ඒ ඊස්ට්‍රජන් මට්ටම පහළ බැසීම මීට ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි.

* මවු පදවිය සිහිනයක්

ගර්භාෂ ආස්තරණය ඝන නොවූ විට දරුවකු පිළිසිඳ ගැනීමේ ඉඩ නැති වෙනවා. පිළිසිඳ ගත් දරුවා පෝෂණය වන්නේ ඝන වූ ගර්භාෂ ආස්තරණයෙන්. ඝන ආස්තරණයක් නැති විට පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ කෙසේ ද?

* මුත්‍රා ආසාදන වැඩියි

සමහර කාන්තාවන්ට සෙසු කාන්තාවන්ට වඩා මුත්‍රා ආසාදන වැඩියි. මේ පිටුපස ඇති එක් හේතුවක් අඩු ඊස්ට්‍රජන් මට්ටම. නිසි පමණ ඊස්ට්‍රජන් නැති විට මුත්‍රා නාලයේ ආස්තරණය තුනී වී පහසුවෙන් බැක්ටීරියා ආසාදනවලට ගොදුරු වෙනවා.

* ඔබ නොසන්සුන්

කාංසාවට එක් හේතුවක් ඊස්ට්‍රජන් අසමතුලිතතාව. ඊස්ට්‍රජන් මඳකම නිසා සෙරොටොනින් මට්ටම අඩු වෙනවා. කාංසාව, බිය වැඩි වෙනවා.

 

උපදෙස් - නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ

 

2019/01/30 තරුණි බලන්න