දරුවන් ද ආඝාතයට ගොදුරු වෙනවා

මාර්තු 20, 2019

හිසට වැදෙන හෙණ පහරකින් ජීවිතයම කඳ මැදින් වෙන්වන ගසක් මෙන් ඇද වැටෙයි. ඇතැම් රෝගාබාධ ද ජීවිතයට හෙණ පහරක් බඳුය. ආඝාතය හෙවත් ස්්ටෙ‍්‍රීක් එවන් රෝග අතරින් ප්‍රමුඛ වෙයි. ලෝකයේ ජීවත් වන්නන් සිය දෙනකුගෙන් එක් අයකු පමණ ආඝාතයට ජීවිත කාලයේදී ගොදුරු වෙයි.

සෑම වසරකම මිලියන පහළොවක් රෝගයෙන් පීඩා විඳින අතර මිලියන 5.8 ක් රෝගයෙන් මිය යති. රෝගය කෙතරම් භයානක වුවත් ආඝාතයට ගොදුරුවීම සියයට අසූවක්ම වළක්වා ගත හැකිය.

ආඝාතය සෑදී රෝහල්ගත වන්නන්ගෙන් 35% ක් පමණ වයස අවුරුදු 35 ට අඩු අයයි. දරුවන් ද අද කාලයේ ආඝාතයට ගොදුරු වෙයි. වැඩිහිටියන් තරම් සුලබ නොවුණත් මවු කුස වැඩෙන කාලයේ සිට ඕනෑම වයස් කාණ්ඩයක දරුවකුට ආඝාතය ඇති විය හැකියි. දරුවකුගේ ආඝාතයට හේතු වන කරුණු වැඩිහිටියකුගේ ආඝාතයට හේතු වන කරුණුවලට වඩා බොහෝ වෙනස්ය.

ආඝාතය කියන්නේ මොළයේ කොටසකට රුධිර සැපයුම අඩාල වීම නිසා දිගුකාලීනව ඇතිවන ස්නායු ආබාධයකි. මොළයට රුධිරය සපයන රුධිර නාලවල ලේ කැටියක් හිරවීම නිසා වාගේම මොළයට රුධිරය සපයන රුධිර වාහිනී පුපුරා යාම නිසා ද කෙනකු ආඝාතයට ගොදුරු වෙයි. වැඩිහිටියන්ගේ ආඝාත තත්ත්වයට වැඩිපුර හේතු වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීමයි. රුධිර වාහිනීවල ලේ කැටියක් හිරවීම වැඩිහිටියන්ගේ ආඝාත තත්ත්වයට 70% - 80% ක් බලපායි. 20% - 30% ක් මොළයේ රුධිර වාහිනියක් පුපුරා යාම නිසා ආඝාතයට ගොදුරු වෙති. දරුවන්ගේ ආඝාත තත්ත්වයට කරුණු දෙකම සමානව බලපායි.

ළමයින්ගේ ආඝාත තත්ත්වය වැඩිපුරම දැකිය හැක්කේ උපන් අලුත දරුවන්ගෙයි. දරුවකුගේ මොළයේ රුධිරවාහිනී තුළ දෙආකාරයකින් රුධිර කැටි සිරවිය හැකියි. මොළය අභ්‍යන්තරයේ ඇති රුධිරවාහිනී බිත්ති ආශ්‍රිතව එනම් මොළය තුළම හට ගන්නා රුධිර කැටියක් මඟින් රුධිර වාහිනී අවහිර වීම, මොළයෙන් පිටත සිරුරේ වෙනත් තැනක හටගන්නා රුධිර කැටියක් මොළයට ගමන් කොට එහි රුධිර නාල අවහිර වීම මඟින් මොළයේ රුධිර වාහිනීවල රුධිර කැටි සිර විය හැකියි.

බොහෝ විට දරුවන්ගේ ආඝාතයට සෘජු හේතුවක් නැතත් තත්ත්ව රාශියක් ඊට මුල පිරීමට ඉඩ ඇත.

* උපත් ආබාධ

* රුධිරය කැටි ගැසීමේ ගැටලු

* රුධිර නාලවල අසාමාන්‍යතා (රුධිර වාහිනී ආශ්‍රිත රෝග)

* විජලනය

* හෘද ගැටලු (සුලබම කරුණ)

* හිසට සහ ගෙලට සිදුවන තුවාල

* ආසාදන (මෙනින්ජයිටිස්, එන්සෙෆලයිට්ස් වැනි)

* මිග්‍රේන් හිසරදය

* රුධිර අක්‍රමිකතා (රුධිරය ආශ්‍රිත රෝග)

* පරිවෘත්තීය අක්‍රමිකතා

දරුවන්ට රෝගය නිසා ඇතිවන ලකුණු දරුවාගේ වයස සහ ආඝාතයේ ස්වභාවය අනුව වෙනස් වෙයි.

වලිප්පුව, වැඩිපුර නිදා ගැනීම, සිරුරේ එක් පැත්තක් පමණක් ක්‍රියා කරවීම එවන් ලකුණු කිහිපයකි. තරමක් වැඩුණු දරුවන්ට වැඩිහිටියන් හා සමාන ද ඇතිවීමට පුළුවන.

ආඝාතය ඇති දරුවන් අතර හෘද රෝග සුලබය. මොළයේ රුධිර කැටියක් හිරවීම නිසා ඇතිවන ආඝාත තත්ත්ව අතරින් සියයට විසි පහකට ආසන්න ප්‍රමාණයක් හෘද රෝග නිසා ඇතිවෙයි. මේ හෘදරෝග උපතේ සිට පවතින රෝග විය හැකියි. උදා: හදවතේ සිදුරු පැවතීම, හෘද කපාටවල ආබාධ, හෘදයේ ධමනි හා ශිරා මාරු වී පිහිටීම.

ඇතැම් විට හේතු වන්නේ උපතින් පසු හෘද වස්තුවේ ඇති වන රෝග තත්ත්වය. උදා: රූමැටික උණ නිසා ඇතිවන හෘද රෝග, හෘදයේ ඇතිවන බැක්ටීරියා ආසාදන, රුධිරවාහිනී බිත්තිවල ඇතිවන වෙනස්කම්.

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.