ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වධකාර රෝගයට සහන රැසක්

අප්‍රේල් 24, 2019

ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් සහනයක් ලැබීමට * දිනපතා මිනිත්තු 30 ක් ව්‍යායාම කරන්න. දවසකට ලීටර් 2 ක ජල ප්‍රමාණයක් පානය කරන්න. ආතතිය දුරු කිරීමට භාවනා කිරීම වැනි ක්‍රම යොදා ගන්න.

දිනකට පලතුරක් ආහාරයට ගන්න.

* අධික ලෙස ආහාර නොගන්න. පලතුරු වාරවල පලතුරු ද කෑමට ගන්න.

* අධික ලෙස කුළුබඩු යෙදූ ආහාර කෑමට නොගන්න.

* ආහාර වේල් මඟ නොහරින්න. විශේෂයෙන් උදෑසන ආහාරය මඟ නොහරින්න.

 

 

කෑම බීම ගැන වැඩිපුර කතාබහ කෙරෙන කාලයක උදරය ද නිරායාසයෙන්ම අවධානයට ලක්වීම වළකාලනු නොහැකිය. ඒ අපට රසමුසු ආහාර ගත හැකි තරම තීරණය වන්නේ උදරයේ සෞඛ්‍ය මත නිසාය.

විශේෂයෙන් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් පීඩා විඳින්නන්ට රසමුසු ආහාර රජයන කාලය සිතට වධයකි. ඒ රිසිසේ ආහාර පාන භුක්ති විඳීමට ඉඩ නොලැබෙන නිසයි.

උදර වේදනාව, උදරයේ වාතය පිරීම, ඩයරියා, මලබද්ධය ද නිසා ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කෙනකු දැඩි අපහසුතාවට පත්වේ. වැඩිහිටියන්ගෙන් සියයට හතළිහක් පමණ යම්තාක් දුරට මේ තත්ත්වයෙන් පීඩා විඳින බව සොයා ගෙන තිබේ.

මෙය නිසි ප්‍රතිකාරයක් නැති රෝගයක් ලෙස පතල නමුත් සහනයක් ලද හැකි ක්‍රම රාශියක් වෛද්‍යවරුන් සොයා ගෙන ඇත.

* ආහාර වේල් අතර දිගු පරතරයක් තබා නොගන්න

ආහාර වේල් පැහැර හරින්නන් අතර රෝග ලකුණු වැඩි වශයෙන් දැකිය හැකිය.

* කෝපි පානය සීමා කරන්න

කෝපිවලට කෙතරම් ප්‍රිය වුණත් දිනපතා කෝපි පානය කිරීම සුදුසු නැත. කෝපිවල කැෆේන් මඟින් බඩවැල්වල වාතය පිරෙයි. ඒ නිසා සතියකට පානය කරන කෝපි කෝප්ප ගණන දෙකකට සීමා කරන්න.

මධ්‍යසාර පානයෙන් ඈත්වන්න. ඉතා ස්වල්ප වශයෙන් රෙඩ් වයින් ගැනීමෙන් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් රෝගින්ට සහනයක් ලැබෙන්නේ එහි ප්‍රතිඔක්සිකාරක යහමින් අඩංගු නිසයි.

කාබනීකෘත (කාබනේටඩ්) පාන රෝගය උත්සන්න කරයි. ඒවායේ සීනි අධිකය. මෙවැනි පාන අන්ත්‍රවල වාතය පිරීමට මුල් වන අතර වාතය පිටවීම ද නිතර සිදු වෙයි.

ජලය ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් රෝගීන්ට ඖෂධීය පානයකි. ඔසු පැන් තවත් හොඳ විකල්පයකි. කාබනීකෘත පාන අධිකව ගැනීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් නම් කාංසාව දැනීමයි. මෙසේ වන්නේ බඩවැල් සහ මොළය අතර තිබෙන සබඳතාව නිසයි.

ඩයට් ආහාර පාන අද කාලයේ ඉතා ජනප්‍රියය. ඩයට් ඩ්‍රින්ක්ස්් හෙවත් ඩයට් පානවල කැලරි (ශක්තිය) හෝ සීනි නැති නමුත් කෘත්‍රිම රසකාරක අඩංගුය. මේ කෘත්‍රිම රසකාරකවල ඇත්තේ ජීර්ණයට අසීරු සීනිය. ඉන් බඩවැල්වලට බලපෑමක් ඇතිවේ. බඩවැල්වල වාතය පිරීමට මුල පිරෙයි. ඩයට් ආහාර ගැනීමෙන් ඇති වන්නේ ද මෙවැනි තත්ත්වයකි.

කඩේ කෑම ගන්නා අය අතර ඉරිටබල් සින්ඩ්‍රෝම් ලක්ෂණ සුලබය. මයික්‍රොවේව් උදුනේ පිසින ලද ආහාර මහා බඩවැලේදීත් ජීර්ණය නොවීමට ඉඩ තිබේ. එහි අවසන් ප්‍රතිඵලය අන්ත්‍රවල වාතය පිරීමයි.

ප්‍රෝබයොටික් ද මේ රෝග තත්ත්වයට පිළියමකි. ප්‍රෝබයෝටික් යනු හිතකර ජීවි බැක්ටීරියා සහ යීස්ට්ය. මේවා විශේෂයෙන්ම අපේ ජීර්ණ පද්ධතියට හිතකරය. යෝගට්, විනාකිරි නොයෙදූ ලුණු වතුරෙන් පැසවන ලද පිපිඤ්ඤා, මිකිරි, පනීර් (නිවෙසේ සාදන ලද චීස්) ආදියේ ප්‍රෝබයොටික් අඩංගුය.

ලූනු, සුදුලූනු, ගෝවා මල්, පරිප්පු, ගෝවා, බෝංචි, වියළි පලතුරු ජීර්ණයට අසීරුය. එවැනි ආහාරවලින් සිදු වන්නේ අන්ත්‍රවල වාතය එක් රැස්වීම පමණි. එහි ප්‍රතිඵලය බඩ කොරවීම, මල බුරුලට පිටවීම, වේදනාවක් දැනීම, වාතය පිටවීම වැනි ලක්ෂණ ඇතිවීමයි.

අංකුර අදින ලද මුං අංකුර වැනි ඇට වර්ග නිිසා උදරයේ වාතය පිරී දැඩි අපහසුතාවකට පත්වීමට සිදුවේ. එනිසා එවැනි ආහාර ද ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් රෝගීන් සීමා කළ යුතුය.

ප්ලම්ස්, පීච්, අඹ වැනි පලතුරු කෑමෙන් රෝගය උත්සන්න වීමට පුළුවන. සෑම පලතුරකම ෆෘක්ටෝස් සහ සෝබිටෝල් අඩංගුය. ඇතැම් පුද්ගලයන්ට මෙවැනි සංයෝග ජීර්ණය කිරීම ගැටලුවකි. එලෙසම උදරයේ වාතය පිරී අසීරුතාවක් ඇති වෙයි.

ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් තත්ත්වයට බලපාන්නේ ආහාර පාන පමණක් නොවෙයි. නින්ද ද බලපායි.

ආහාර පමණක් නොව ජීවන රටාව ද ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් තත්ත්වයට බලපායි. ඒ අතර ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම එක් ගැටලුවකි. කාර්යබහුල සමාජයේ වැඩි දෙනෙක් ප්‍රමාණවත් තරම් නින්දක් ලබන්නේ නැත. දිනකට පැය අටක නින්දක් ලබාගැනීම රෝගයෙන් සහනයක් ලබා ගැනීමේදී වැදගත් වෙයි.

අන්ත්‍ර සහ ආතති මට්ටම අතර ඇත්තේ නොබිඳිය හැකි සබඳතාවකි. සිරුරේ වැඩිපුරම ස්නායු සෛල තියෙන්නේ අන්ත්‍රවලය. එය මොළයේ අඩංගු ස්නායු සෛල ප්‍රමාණයට ද වැඩිය. ඒ නිසා සතුටට හේතුවන සෙරොටනින් වැඩිපුරම ඇත්තේ අන්ත්‍රවලයි. අන්ත්‍ර ගැටලු ඇති අය වැඩි වශයෙන් විෂාදයෙන්, කාංසාවෙන් වෙනස් වන මානසිකත්වයෙන් පසු වන්නේ මේ නිසයි. යහපත් නින්ද මෙබඳු ගැටලුවලට විසඳුමකි. දිනපතා එකම වේලාවක නින්දට යන්න. ලැප්්ටොප්, ස්මාට් ෆෝන්, පුංචි තිරය සඳහා නිදන කාමරය තහනම් අඩවියක් කරන්න.

අන්ත්‍රවල වාතය පිරීමට, මලබද්ධයට, මල බුරුලට යාමට ව්‍යායාම කදිම විසඳුමකි.

දිගටම අසුන් ගෙන සිටීම සමස්ථ ශාරීරික සෞඛ්‍යයට සේම අන්ත්‍රවල සෞඛ්‍යයට ද අහිතකරයි. එනිසා පැයකට වරක්වත් හුනස්නෙන් නැඟිට කෙටි දුරක් ඇවිදින්න.

යෝගා දැන් බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් ද සෞඛ්‍ය වර්ධනය කරන ක්‍රියාවලියක් ලෙස පිළිගෙන අවසන්ය.

 

මේල් ඔන් ලයින් ඇසුරිනි