දුම්වැටිය, බියර් වීදුරුව මත්ද්‍රව්‍ය භාවිතයේ පිවිසුම් දොරටුවයි

මැයි 1, 2019

ජන ජීවිතයෙන් සිනාව උදුරා ගන්නා කඳුළ, සන්ත්‍රාසය, භීතිය උරුම කරන ත්‍රස්තවාදය යළි හිස ඔසවලා. ඒ සමඟම කතාබහට ලක් වුු අනෙක් මාතෘකාව මත්ද්‍රව්‍ය.

මත්පැන්, දුම්වැටි අතිශයින්ම හානිකර මත්ද්‍රව්‍ය දෙවර්ගයයි. හෙරොයින්, ගංජා ඇතුළු අනෙක් මත්ද්‍රව්‍ය ඒ සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. පාසල් අසල අලෙවි කරන දුම්වැටි, කාබුල් බොහොමයක අඩංගු ප්‍රධාන මූල ද්‍රව්‍ය දුම්කොළයි. දරුවන් ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලින් බේරා ගැනීම මෙන්ම මත් ද්‍රව්‍යවලින් ද බේරා ගැනීම මාපියන්ගේ කාලීන වගකීමක්, යුතුකමක්.

විශේෂයෙන් ගැටවර වියේ පසුවන දූ දරුවන් සිටින මාපියන් මේ පිළිබඳ දැඩි අවධානයකින් සිටිය යුතුයි. දූ දරුවන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා වැදගත් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීමයි. බීර ඇතුළු මත්පැන් හා දුම්වැටි දරුවන් මතට පොලඹවන ප්‍රධාන දොරටු දෙකයි. ගංජා හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් මුලටම භාවිත කර ඇත්තේ මේවායි.

ඇල්කොහොල් හෙවත් මධ්‍යසාරවලට ඇබ්බැහි වී සිරෝසීස් වැනි රෝගවලට ගොදුරු වූවන් ඇබ්බැහිවීමට මුල පුරා ඇත්තේ බීර පානයෙනි. දුම්වැටි, මත් වතුර භාවිතය නිසා රටට වන හානිය රුපියල් බිලියන 144 ඉක්මවනවා. එය දක්ෂිණ අධිවේග මාර්ගය තැනීමට, මොරගහකන්ද ජලාශය ඉදි කිරීමට, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ ඉදි කිරීමට වැය වූ මුදලට වැඩි විශාල මුදල් ප්‍රමාණයක්.

දුම්වැටි, මත් වතුර භාවිතයෙන් පෙණහලු පිළිකා, සිරෝසීස් ඇතිවන බව නොදන්නා ගැටවරයෙක් නැහැ. එහෙත් එසේ දැන දැනත් ගිනි දැල්ලට පියාඹන පලඟැටියන් මෙන් අපේ දරුවන් ද මෙය වැලඳ ගන්නවා. අපේ පවුල් සංස්ථාව තුළම මුල් බැසගත් මිථ්‍යා මත ද මීට අනුබලයක් වෙලා. බියර් හඳුන්වන්නේ ගැහැනුන් පානය කරන බීමක් ලෙසින්. මඳ පමණින් ගත් විට අගුණයක් නැති බවට ද සමාජයේ මතයක් පවතිනවා. අලුත්ම පර්යේෂණ වාර්තාවලින් හෙළි වී ඇත්තේ මද්‍යසාර මඳ වශයෙන් ගත්ත ද ඉතා අහිතකර බවය. මද්‍යසාර අකල් මරණවලට හේතුවන හත්වැනි හේතුව බව වොෂිංටන් සරසවිය පෙන්වා දෙනවා. පිළිකා, ක්ෂය රෝගය, සිරෝසීස් ඇතුළු රෝග රැසකට මත් වතුර චූදිතයෙකි.

කොකේන්, අයිස් ඇබ්බැහිකාරකයි. මේ දෙකම ඩිලීරියම්, හැලුසිනේෂන්ස්, මේනියා, ඩිලූෂන්ස්, හදවත් ගැටලු ආදී සෞඛ්‍ය තර්ජන රැසක් ඇති කරනවා. අයිස් නින්ද නොයාම, විෂාදය, නොසන්සුන්තාව, හැලුසිනේෂන්ස්, ඩිලීරියම් සමඟ බැඳී පවතිනවා.

මාරාන්තික විය හැකි වකුගඩු සහ පෙණහලු අක්‍රමිකතා, මොළයට හානි, ස්ථිරවම ඇතිවන මානසික සෞඛ්‍ය ගැටලු, අසාමාන්‍ය ලෙස බර අඩුවීම, අක්මා රෝග, ආඝාතය, ලෙඩ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව අඩුවීම අයිස් භාවිතයේ අනිටු විපාකයි.

කංසා මඟින් මානසික සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරනවා. ශ්වසන රෝග, හදවත් රෝග අවදානම වැඩි කරනවා.

මෙවැනි අවදානම් ගැන දරුවන් දැනුවත් කළ යුතුයි. නව යෞවනයන්ගේ බුද්ධි ඵලයද (අයි කිව්) මෙමඟින් අඩු කරනවා. මේ නිසා මාපියන්ගේ දැඩි අවධානය මේ කෙරෙහි යොමු කළ යුතුයි.

බියර් සහ සිගරට් ව්‍යාපාරිකයන් දෙස අපහාසයෙන් බැලීමට දරුවන් පුරුදු කළ යුතුයි. මත්වතුර, දුම්වැටි ගැන සමාජයේ වැරැදි මත දරුවන්ට තර්කානුකූලව පෙන්වා දෙන්න. බියර් සහ සිගරට්වලින් ලාබ ලබන නිෂ්පාදකයන්ගේ සිට ප්‍රචාරක ආයතන, ආපන ශාලා, බාර් හිමියන්, ඒවායින් ප්‍රතිලාබ ලබන සිනමාපට, ඒවායින් කොමිස් ගෙන බිග් මැච්වලට බියර් ලබා දෙන ආදි ශිෂ්‍යයන් දක්වා වූ පුද්ගලයන් දෙස අපහාසයෙන් උපහාසයෙන් බැලීමට දරුවන් පුරුදු කරන්න.

 

2019/05/01 තරුණි බලන්න.