මැදුම් පිළිවෙතින් ලුණු කෑමට ගත යුතුයි

මැයි 15, 2019

බැදපු අල පෙති මල්ලක රස බැලීමට ඔබට මිනිත්තුවකට දෙකකට වඩා ගත වෙන්නේ නැහැ නේද? දෝත පිරෙන්න ආහාරයට ගන්නා බැදපු අල පෙතිවල ශක්තිය වැය කර ගැනීමට පියවර 10,000 ක් ඇවිදීමට සිදු වෙනවා. මේ කතාව බැදපු අල පෙතිවල අඩංගු ශක්තිය ගැන නොවෙයි.

එවැනි ආහාර සමඟ අපේ ශරීරගත වන අධික ලුණු ප්‍රමාණය ගැනයඵ. බැදපු අල පෙති ග්‍රෑම් සියයක ලුණු මිලිග්‍රෑම් 8 ක් අඩංගුයි.

ක්ෂණික නූඩ්ල්ස්වල ලුණු මිලිග්‍රෑම් 750 – 950 ක් අඩංගුයි. නූඩ්ල්ස් වර්ගය අනුව ලුණු ප්‍රමාණ වෙනස් වෙනවා.

මිශ්‍ර ඇට වර්ග ගුණදායක වුණත් ලුණු මිශ්‍ර කළොත් ගුණයට වඩා අගුණයක් ලැබෙනවා. ලුණු මඳ වශයෙන් එක් කළ ඇට වර්ගවල වුවත් (ලයිට්ලි සෝල්ටඩ්) මිලිග්‍රෑම් 55 ක ලුණු අඩංගුව තිබෙනවා.

එනිසා තෝරා ගත යුත්තේ ලුණු නැති ඇට වර්ගයි. ස්පයිසි චිකන් ටෙන්ඩර්ස් (බැඳපු කුකුළු මස් තීරු) වල ලුණු මිලිග්‍රෑම් 2,100 කට වඩා අඩංගුයි. ෆ්රෙන්ච් ෆ්‍රයිස් කුඩා වුව ද එහි අඩු වශයෙන් මිලිග්‍රෑම් 250 ක ලුණු ප්‍රමාණයක් තිබෙනවා.

බර්ගර්, සැන්ඩ්විච්වල දෛනික ලුණු අවශ්‍යතාවට වැඩි ලුණු ප්‍රමාණයක් අඩංගුයි.

සමහරුන්ට බැදපු කරවල කෑල්ලක් නැතිව බත් කැවෙන්නෙම නෑ. එහෙත් කරවල ග්‍රෑම් 100 ක ලුණු මිලිග්‍රෑම් 200 ක් අඩංගුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් දිනකට වැඩිහිටියකුට ලුණු ග්‍රෑම් හයකට වඩා (තේ හැන්දකට) ආහාරයට නොගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ග්‍රෑම් පහකට අඩුවෙන් ලුණු පරිභෝජනය කළ යුතුයි. වයස අවුරුදු 1 – 3 දක්වා දරුවකු පරිභෝජනය කළ යුත්තේ ලුණු ග්‍රෑම් 2 ක් වැනි සුළු ප්‍රමාණයක්. මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් දිනකට ගත යුතු ලුණු ප්‍රමාණය නිර්දේශ කර ඇත්තේ එය රතු ඉර නොඉක්මවා ගත යුතු ඛනිජ ලවණයක් නිසයි.

රුධිර පීඩනය ඇති අයටත් රුධිර පීඩනය නැති අයටත් ක්ෂණිකවම රුධිර පීඩනය වැඩි කිරීමට අධික ලුණු පරිභෝජනය හේතු වෙනවා. අධික රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, හෘද නහර ආශ්‍රිත රෝගගවලට මඟ පාදනවා. 2010 කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ආපන ශාලාවල ඇති ආහාරපානවල ක්ෂණික ආහාරවලට ද වඩා ලුණු අඩංගු වී ඇති බවයි.

ලුණු යනු අප සම්පූර්ණයෙන් බැහැර කළ යුතු ඛනිජ ලවණයක් නෙවෙයි. මාංසපේශී හැකිළීමට දිග හැරීමට, ස්නායු සංඥා රැගෙන යාමට, තරල ප්‍රමාණය සමතුලිතව පවත්වා ගැනීමට ලුණු අත්‍යවශ්‍යයි. එහෙත් මේ සියලු කාර්යයන් සඳහා අවශ්‍ය වන්නේ ලුණු සුළු ප්‍රමාණයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව බොහෝ පුද්ගලයන් ලුණු ග්‍රෑම් 9 – 12 ක් දිනකට පරිභෝජනය කරනවා. එනම් නිර්දේශිත ප්‍රමාණයට වඩා දෙගුණයක් තෙගුණයක් ලුණු රස බලනවා. අවාසනාවකට අප ගන්නා ආහාරපාන බොහොමයක අඩංගු ලුණු ප්‍රමාණය නිශ්චය කිරීමට හැකියාවක් නෑ. සෞඛ්‍ය බලධාරීන්ට අනුව අප පරිභෝජනය කරන ලුණුවලින් සියයට හැත්තෑ පහක්ම ලැබෙන්නේ සකස් කර අලෙවි කරන ආහාරවලින්. (ප්‍රොසෙස්ඩ් ෆුඩ්ස්) මේවා අතර ඔබ ඉතා කැමැති ටින් කළ ආහාර, සෝස් වර්ග ද තිබෙනවා. සකස් කර අලෙවි කරන ආහාරවල සීනි ප්‍රමාණය ගැන මෙන්ම ලුණු ප්‍රමාණය ගැන ද විමසිලිමත් විය යුතුයි.

* තරබාරු බවට හේතුවක්

අප සැම විටම කතා කරන්නේ සීනි, තෙල් හා ව්‍යායාම නොකිරීම නිසා තරබාරු වන බවයි. එහෙත් පසුගිය වසර ගණනාවක් පුරා කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ලුණු ද තදබල ලෙස තරබාරු බවට, ස්ථුලතාවට බලපාන බවයි. 2015 කළ අධ්‍යයනයකට අනුව දිනකට වැඩිපුර කෑමට ගන්නා එක ලුණු ග්‍රෑමයකින් දරුවා තරබාරුවීමේ අවදානම සියයට විසි අටකින් වැඩි වී තිබෙනවා. වැඩිහිටියන් දිනකට එක ලුණු ග්‍රෑමයක් වැඩිපුර ගැනීමෙන් තරබාරුවීමේ අවදානම සියයට විසි හයකින් වැඩි වෙනවා.

තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දරුවන් ලුණු එක් කළ ආහාර රසයට වැඩිපුර කැමැති බවයි. එනිසා වැඩිපුර කෑමට ගැනීමට පෙලඹෙනවා. ලුණු කෑම අධිකව ගැනීමේ තවත් අවාසියක් වන්නේ ලුණු නිසා ඇතිවන පිපාසයට ජලය වෙනුවට දරුවන් පැණි බීම පානය කිරීමයි.

තවමත් විද්‍යාඥයන්, වෛද්‍ය විශේෂඥයන් පැහැදිලි කරගෙන නැතත් ලුණු නිසා මුත්‍රා ගල් සෑදීමේ අවදානමක් ද ඇති වෙනවා. මේ නිසා ස්වභාවයෙන්ම මුත්‍රා ගල් සෑදිමේ වැඩි ඉඩ ඇති අය කළ යුත්තේ අඩු ලුණු සහිත ආහාරපාන ගැනීමයි.

* නින්දට බාධාවක්

නින්දට ලුණු බාධා වන්නේ කෙසේද? පර්යේෂණවලින් හෙළි වී ඇති අන්දමට ලුණු අඩු ආහාර ගත් විට මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වී රාත්‍රියට කිහිප වරක් අවදිවීමට සිදු වන්නේ නැහැ.

කෙනකුගේ මුත්‍රාවල ලුණු වැඩිපුර අඩංගු නම් ඒ තැනැත්තාට හෘද අකර්මණ්‍යතාව ඇතිවීමේ ඉඩ දෙගුණයකටත් වඩා වැඩියි.

අවාසනාවකට අපේ දරුවන් ලුණු නිසා විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටිනවා. දරුවන් දස දෙනකුගෙන් හත් දෙනකුම පමණට වඩා ලුණු ආහාරයට ගන්නා අතර ඔවුන් හෘද රෝග ඇතුළු රෝග ගණනාවකට ගොදුරුවීමේ ඉඩ වැඩි වෙනවා.

නිර්මාංස අයටත් වඩා මාංස ආහාර ලෝලී පුද්ගලයන්ටත් ලුණුවලින් ලැබෙන අහිතකර විපාක වැඩියි. නැවුම් සහ සීත කළ මස්වල යුෂ ගතිය වැඩිවීමට සහ ධාරිතාව වැඩිවීමට ලුණු එක් කරනවා. මේ නිසා මස් කෑමට ගත යුත්තේ ලුණු ගැන අවධානයෙන්.

ඇතැම් පුද්ගලයන්ගේ සිරුරෙන් පහසුවෙන් ලුණු පිට වන්නේ නැහැ. එවැනි අයත් වයස පනහට වැඩි අයත් ලුණු පරිභෝජනයේදී තියුණු ලෙස අවධානය යොමු කළ යුතුයි. වයස් ගතවන විට ලුණු අහිතකර වී රුධිර පීඩනය ඇතිවීමට වැඩි ඉඩක් පවතිනවා. දියවැඩියාව, ස්ථුලතාව ඇත්නම් අවදානම ඉතා වැඩියි.

උදර පිළිකාවලට ලුණු අත වනන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

සියලු ලුණු වර්ගවලින් ලැබෙන්නේ එක වාගේ අහිතකර ප්‍රතිඵල. ඖෂධීය ලුණු වර්ගයක් ලෙස සලකන සහිඳලුණුවලටත් මේ තත්ත්වය පොදුයි.

සීනි, ලුණු, තෙල් යන වරක මිතුරු වරක සතුරු ආහාර මැද පිළිවෙතින් ආහාරයට ගත් තරමට සිරුරට ගුණදායකයි. බෞද්ධයන් වන අපට එය ඉතා පහසුවෙන් කළ හැක්කක්.

රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරිනි