සුව නින්දකට පෙර සූදානම

මැයි 22, 2019

නින්ද කියන දේ අපිට මොන තරම් වැදගත්ද කියන එක ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. හරි හැටි නින්දක් නොලැබුණොත් ඊට පස්සේ මුළු දවසම අවුල් වෙනවා. හරියට වැඩක් කර ගන්න බැරිව යනවා.

ඒ වගේම වැදගත්ම දේ තමයි ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබී යාම, සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති කරවන්නට හේතු වෙනවා කියන එක.

 

හිසරදය, අධි රුධිර පීඩනය, ආඝාතය, හෘදයාබාධ, දියවැඩියාව, වකුගඩු ආශ්‍රිත රෝග සහ මානසික ආතතිය වැනි බොහොමයක් රෝග ඇතිවීමට ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතු වනවා. දවස පුරාවටම වෙහෙසුණු සිරුරට විවේකයක් ලබා දෙන්න අවශය නිසයි පැය 7 - 8 ක නින්දක් ලබා ගන්නේ. අවශ්‍ය විවේකය ලබා නොදුන්නොත් සිරුරේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා.

ඔබත් ඇඳට යන්නේ ජංගම දුරකථන, ලැප්ටොප් අරගෙනද? ඔබගේ නින්ද තව තවත් ප්‍රමාද කරන්න මෙය හේතුවක්. ඒ වගේම අඳුරේ ඉඳගෙන දීප්තිමත් තිරය දෙස වැඩි වෙලාවක් බලා සිටීම ඔබේ ඇස්වලටත් හානි කරන්න මුල් වෙනවා. ඒ නිසා නිදා ගන්න යද්දී තාක්ෂණික උපකරණ ඇඳට ගෙන යෑමෙන් වළකින්න.

ආහාර ගත් විගසම නින්දට යන්න එපා. එය ඔබව තරබාරු කරන්න වෙනවා වගේම ජීර්ණ ක්‍රියාවලිය නිසා ඔබේ නින්ද ප්‍රමාද වෙනවා.

වැරැදි ඉරියව් නිසා පීඩාවට පත් වෙනවාද? නිදා ගනිද්දී ඒ සඳහා නිවැරැදි ඉරියව්වක් තෝරා නොගැනීමෙන් මුළු රැය ගෙවෙනකන්ම අවදියෙන් ඉන්න වෙනවා. ඒ වගේම ශාරීරික වේදනාවන් ඇති වෙන්නත් හේතු වෙනවා.

නින්දට පෙර පිරිසුදු වීමත් ඉතාම වැදගත්. එය සුව නින්දක් ලබා ගැනීමට ප්‍රධානම හේතුවයි. ඒ වගේම පිරිසුදු සැහැල්ලු ඇඳුමකින් සැරසෙන්න.

නින්දට බාධා කරන මේ වැරැදි වලින් ඈත් වීමෙන් ඔබට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නත් ඒ මඟින් සෞඛ්‍ය තත්ත්වය රැක ගන්නත් හැකියාව ලැබෙනවා.

උපදෙස් - කායික රෝග වෛද්‍ය

ආනන්ද චන්ද්‍රසේකර