යන එන හැම තැනකදීම අපේ උණ බලන අලුත්ම උෂ්ණත්වමානය

ජූලි 1, 2020

*රසදිය භාවිතකර උෂ්ණත්වය මනින පැරැණි තාල යේ උෂ්ණත්වමාන දැන් නිවැරැදිව උෂ්ණත්වය මැනීමට යොදා නොගනියි. නිවැරැදිව මිනුම් කියවීමේ අපහසුතාව සහ රසදිය විසැති බැර ලෝහයක් නිසා මෙසේ භාවිත නොකරන ලෙසට උපදෙස් දී තිබෙයි.

දැන් වඩාත් ජනප්‍රිය ඩිජිටල් උෂ්ණත්වමානය. වඩාත් ඉක්මනින් වඩාත් නිවැරැදිව මෙමඟින් උෂ්ණත්වය බලාගත හැකිය. උෂ්ණත්වමානය දිව යට තබා උෂ්ණත්වය මැන බැලීම වඩාත් සාර්ථකයි. වයස අවුරුදු තුනට අඩු දරුවන්ගේ නම් සෙමෙන් ගුද මාර්ග යේ කෙළවරට උෂ්ණත්වමානය ඇතුළුකර උෂ්ණත්වය බලයි. කිහිල්ලේ යට තබා උෂ්ණත්වය මැන්න ද එයින් දිව යට තබා හෝ ගුද මාර්ගයේ කෙළවරට ඇතුළුකර උෂ්ණත්වය මැනීමේදී තරම් නිවැරැදිව දත්ත ලබාගත නොහැකිය.

 

රෝගයක් නිසා අපේ ඇවතුම් පැවතුම් මෙපමණටම වෙනස්කර ගැනීමට සිදු වූ වෙනත් කාලවකවානුවක් ගැන සිතාගත හැකිද? නිවෙසින් පිටත් වෙන විට අපට මුදල් පසුම්බියටත් වඩා මතක් වන්නේ මුඛ ආවරණයයි.

නිවෙසේදී මෙන්ම පිටතදී නිරන්තරයෙන් දෑත් සේදීමට සිදුවෙයි. කෝවිඩ් - 19 වසංගතය සමග සේවා ස්ථානවලට අලෙවි සල්වලට ඇතුළු වෙද්දී අනිවාර්යයෙන්ම සිදු කරන තවත් එක් කාර්යයක් වන්නේ අධෝරක්ත උෂ්ණත්වමානයක් භාවිතකර සිදුකරන උෂ්ණත්වය මැන බැලීමය. මොකක්ද මේ අධෝරක්ත උෂ්ණත්වමානය? එයින් උෂ්ණත්වය මැන බලන්නේ කොහොමද? මේ ප්‍රශ්න ඔබේ සිතට එන්නට ඇති. අපි දැන් ඒ පිළිබඳව දැනුම්වත් වෙමු.

 

*මොකක්ද මේ අධෝරක්ත උෂ්ණත්වමානය?

අපේ සිරුර ජීවීව තබා ගැනීමට නිරන්තරයෙන් උෂ්ණත්වය නිපදවෙයි. අපේ උණුසුම පරිසරයට නිදහස් වෙයි. මිනිස් සමෙන් විකිරණ වශයෙන් ද තාපය නිකුත් වෙයි. ඒ විකිරණවල ශක්තිය ආලෝකයේ ශක්තියට වඩා අඩුය. පියවි ඇසට නොපෙනෙයි. තාප විකිරණ විද්‍යාවේ මේවා හඳුන්වන්නේ අධෝරක්ත කිරණ නමිනි. අධෝරක්ත උෂ්ණත්වමානය ( ඉන්ෆ්‍රරෙඩ් ත මෝමීටර් ) ක්‍රියාත්මක වනුයේ සිරුරෙන් පිටවන අධෝරක්ත විකිරණවල ශක්තිය සංවේදනය කිරීමෙනි. මේ උෂ්ණත්වමාන තුළ අධෝරක්ත කිරණවලට සංවේදී විශේෂ ඉලෙක්ට්‍රොනික සංවේදකයක් ඇත. එයට මිනිස් සිරුරේ උෂ්ණත්වය අනුව නිකුත්වන අධෝරක්ත විකිරණ ශක්තියට සමානුපාතික විද්‍යුත් ධාරාවක් නිපදවීමට හැකියාවක් ඇත. ඒ විද්‍යුත් ධාරාවට අනුව සිරුරේ උෂ්ණත්වය ඍජුවම තීරණය කිරීමට පුළුවන.

 

*මේ උෂ්ණත්වමානයට දිනපතා කිහිප වරක් කෙනකුට මුහුණ දීමට සිදුවිය හැකිය. මෙසේ අධෝරක්ත උෂ්ණත්වමානයකට නිතර නිරාවරණය වීම අපේ සිරුරට හිතකරද ?

ඉලෙක්ට්‍රොනික් උපකරණයක් නිසාත් ඇතැම් උෂ්ණත්වමානවල ලේසර් ආලෝක බල්බ ඇති නිසාත් මෙය හානිකරදැයි සැකයක් සමහරුන්ට පවතියි.

එහෙත් අධෝරත්න උෂ්ණත්ව කිරණ භාවිතය කිසිසේත්ම සිරුරට අහිතකර නැත. ඇතැම් අධෝරක්ත උෂ්ණත්වමානවල කුඩා ලේසර් කදම්බයක් නිකුත් කරන ලේසර් බල්බයක් දක්නට ලැබෙයි.

ලේසර් බල්බය යොදාගෙන ඇත්තේ එය භාවිත කරන්නාට පහසුවෙන් ඉලක්ක කළ හැකි වීමටය. බල්බයෙන් නිකුත් වන්නේ සුළු ලේසර් කිරණ ප්‍රමාණයක් නිසා සමට හානිකර නැත. එහෙත් අධික දීප්තියක් බල්බවල ඇති නිසා කෙළින්ම ඇස්වලට පතිත වීම වළක්වා ගත යුතුය.

*අධෝරක්ත උෂ්ණත්වමානයක ඇති වාසි මොනවාද ?

ඉක්මනින් හා නිවැරැදිව දත්ත ( උෂ්ණත්වය ) මැන බැලීමට ඇති හැකියාව, සිරුරේ ගැටෙන්නේ නැතිව උෂ්ණත්වය බැලීමට ඇති හැකියාව ප්‍රධාන වාසියි.

*වඩාත් නිවැරැදි කුමන දුරකින් උෂ්ණත්වය මැන බැලීමද ?

අධෝරක්ත උෂ්ණත්වමාන යේ සංවේදී කෙළවර උෂ්ණත්වය මැනීමට ලක්වෙන පුද්ගලයාගේ නළලට අඟල් 3 ක් පමණ ආසන්නව තබා උෂ්ණත්වය මැනිය යුතුය.

 

ප්‍රජාවෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන

 

2020/07/01 තරුණි පුවත්පත බලන්න.