පිටි කිරි බීමෙන් දරුවාත් පරිසරයත් දෙකම විනාශ වෙනවා

අගෝස්තු 12, 2020

කෝවිඩ් - 19 වසංගතය අපට බොහෝ පාඩම් කියා දුන්නා. වසංගතවලට එක් හේතුවක් මිනිසා විසින් පරිසරය විනාශ කිරීම. නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට රටවල් වසා දැමූ කාලයේ සොබා දහම නව පණක් ලැබුවා. ඒ නව පණ, අඩ පණ නොකිරීම මිනිසා, මිනිසා වෙනුවෙන් පරිසරය වෙනුවෙන් ගතයුතු ඉතා වැදගත් පියවරක්.

පරිසර විනාශයේ වගඋත්තරකරු මිනිසායි. දරුවකු උපන්දා සිටම දරුවාට පිටිකිරි දීමෙන් අප පරිසරයේ විනාශයට මුල පුරනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මෙතෙක් ඔබ දැන සිටියේ අනිවාර්යයෙන් දරු පැටියාට මාස හයක් යනතුරු මවුකිරි දිය යුතු බව පමණයි. මවුකිරිවලින් හැර ළදරුවකුට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි වෙනත් මාර්ගයක් නැහැ. තරබාරුකමින්, අසාත්මිකතාවලින්, කන් ආසාදන වැනි ආසාදනවලින්, දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝගවලින් මවුකිරි ලැබෙන දරුවා ආරක්ෂා වෙනවා. මවුකිරි බොන දරුවාට මල බද්ධය, පාචනය, උදරාබාධ ඇති වන්නේ නැහැ. මේ දරුවන්ගේ බුද්ධි ඵලය ඉහළයි. දරුවාට ලැබෙන අනෙක් වාසිය ගැන වැඩි දෙනෙක් මෙතෙක් සිතුවේ නැහැ. සොබා දහමට පිටු නොපෑමෙන් පරිසරය විනාශ නොකිරීමෙන් දරුවාට සොබා දහමේ ආශීර්වාදය ද ලැබෙනවා. දරුවා වෙනුවෙන් ඒ වගකීම පැවරෙන්නේ මවට සහ පියාටයි.

සොබා දමට වඩාත් හිතකර, සොබාදමේ හිතමිතුරු ආහාරය ලෙස නම් දරා සිටින්නේ මවුකිරියි. මවුකිරි දීමෙන් පරිසරයට කිසිදු අහිතකර ද්‍රව්‍යයක් නිකුත් වන්නේ නැහැ.

*පිටිකිරිවලින් පරිසරය විනාශ වෙන්නේ මෙහෙමයි

පිටිකිරි අප අතට පත් වෙන්නේ ගොවිපොළකින්. ගබඩා කිරීම, පැස්චරීකරණය කිරීම, වියළීම, සිසිල් කිරීම, ඇසිරීම, නැව්ගත කිරීම,බෙදා හැරීම , පිළියෙල කිරීම ආදී ක්‍රියාවලීන් රැසක් මීට ඇතුළත්. පරීක්ෂණවලින් හෙළිවී ඇති අන්දමට සෑම ළදරු කිරි කිලෝග්‍රෑමයකටම දළ වශයෙන් ජලය ලීටර් 4000ක් අවශ්‍ය වෙනවා.

 

උපදෙස් - පවුල් සෞඛ්‍ය කාර්යාංශ යේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා
 විශේෂඥ වෛද්‍ය හිරණ්‍යා ජයවික්‍රම 
 

2020/08/12 තරුණි පුවත්පත බලන්න