කෝවිඩ් - 19 ට වඩා භයානක මයික්‍රොප්ලාස්ටික් වසංගතය

සැප්තැම්බර් 2, 2020

මේ කාලයේ කවුරුත් කතා කරන්නේ නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම ගැනයි. රෝගය වැලඳීමෙන් වළකින්න එන්නතක් නිපදවීමටත් ලෝකයේ රටවල් දැඩි වෙහෙසක් ගන්නවා. එහෙත් නව කොරෝනා වෛරසයටත් වඩා භයානක මයික්‍රොප්ලාස්ටික් වසංගතය විසින් අප ගිලගනු ලබන්නේ කලක සිටය.

*ප්ලාස්ටික් නම් අපට හුරුපුරුදුයි. ඒත් මයික්‍රොප්ලාස්ටික් කියන්නේ කුමක්ද?

මිලිමීටර් 5ට අඩු ඕනෑම ප්ලාස්ටික් කැබැල්ලක් හෝ ප්ලාස්ටික් කෙන්දක් මයික්‍රොප්ලාස්ටික් ලෙස හඳුන්වනවා. අප නොදන්නවාට ඔක්සිජන් තරමටම මයික්‍රොප්ලාස්ටික් අපේ සිරුරට සමීපයි. මයික්‍රොප්ලාස්ටික් මිලිමීටර් 5ට අඩු කුඩා කොටස් ලෙසින් හෝ විශාල ප්ලාස්ටික් කොටස් මිලිමීටර් 5ට අඩු කොටස්වලට කැඩී පරිසරයට එක් වෙනවා. වාතයේ ජලයේ ඇතැම්විට ආහාරවල පවා මේවා අඩංගුවී තිබෙනවා. ඒ කියන්නේ අපි මයික්‍රොප්ලාස්ටික් ආශ්වාස කරනවා. පානය කරනවා. කෑමට ගන්නවා. වැඩිපුරම මේවා ශරීරගත වෙන්නේ වාතයෙන් සහ පානය කරන ජලයෙන්. මුහුදු ආහාරවල ද මයික්‍රොප්ලාස්ටික් යහමින් අඩංගුයි.

ප්ලාස්ටික් තනිව ගත්කල දුබල ද්‍රව්‍යයක් වුව ද එය වර්ණ ගැන්වීමට නම්‍යශීලී කිරීමට තාපයට ඔරොත්තු දීමට පාරජම්බුල කිරණවලට ප්‍රතිරෝධී වීමට ආදී වශයෙන් විවිධ කටයුතු සඳහා රසායන යොදාගනියි. ප්ලාස්ටික් මුහුදේ හෝ ජලයේ ඇතිවිට ආසනික්, කැඩ්මියම්, නිකල්, රසදිය, ඊයම් වැනි බැර ලෝහ, පලිබෝධ නාශකවලින් දූෂණය වීමේ ඉඩ වැඩියි. මයික්‍රොප්ලාස්ටික් හරියට කාන්දමක් වගෙයි. ඊට විස රසායන ද්‍රව්‍ය මිලියන ගණනක් උරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. කර්මාන්තශාලාවලින් ඉවතලන පිළිකාකාරක රසායන මිලියන ගණනින් මේවා අවශෝෂණය කරගන්නවා.

සමහර මයික්‍රොප්ලාස්ටික් වර්ග මල, මුත්‍රා වැනි විවිධ ක්‍රම මඟින් සිරුරින් පිට කළත් ඇතැම් ප්ලාස්ටික් ස්වසන මාර්ගයෙන් හෝ උදරආන්ත්‍රික මඟින් අපේ වසා පද්ධතියටත් රුධිර පද්ධතියටත් ඇතුළත් වෙනවා. සිරුරේ අවයවවල ඒවා තැන්පත් වෙනවා. මෙසේ තැන්පත්වන මයික්‍රොප්ලාස්ටික් මඟින් රසායන නිකුත් වෙනවා. භයානක ප්‍රදාහයන් ඇති වෙනවා.

*ප්‍රදාහයන්වල භයානකකම

ප්‍රදාහයක් ඇතිවන්නේ මයික්‍රොප්ලාස්ටික් වැනි විස ශරීරගත වීමෙන්, තුවාල සිදුවීමෙන්, ආසාදන ආදී විවිධ හේතු නිසයි. අපේ සෛලවලට හානි සිදුවන විට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්ම ඉක්මනින්ම සුවය ලබාදීමට රසායන නිකුත් කරනවා. මෙසේ දිගින් දිගටම සිරුර ප්‍රදාහයකට සූදානම් වෙනවිට එයම ශරීරයේ පටකවලට අවයවවලට හානිකරව බලපානවා. ඇදුම රෝගයේ සිට පිළිකා දක්වා විවිධ රෝ ගවලට දිගින් දිගටම පවතින ප්‍රදාහයන් හේතු වෙනවා. මයික්‍රොප්ලාස්ටික්වලට නිරන්තරව සිරුර නිරාවරණය වීමෙන් සිදුවන්නේ ද නිරන්තරයෙන්ම සිරුර ප්‍රදාහයන්ට ලක්වීමයි.

 

උපදෙස් - වෛද්‍ය සජිත් එදිරිසිංහ

වෛද්‍ය හේමන්ත හේරත්

 

 

2020/09/02 තරුණි බලන්න