පුංචි පැටියගෙ ලෝකයට එබී බලමු

ඔක්තෝබර් 7, 2020

ලුත උපන් දරු පැටියා අම්මටයි තාත්තටයි අලුත්ම පුංචි ලෝකයක්. හාහාපුරා කියලා සිඟිත්තකුගෙ මුහුණ බලන මාපියන් නම් මේ ලොව අතරමං වෙනවා. එහෙම වුණොත් අම්මටයි තාත්තටයි දරුවටයි තුන්දෙනාටම ගැටලු මතුවෙන්න පුළුවන්.

කලින් දරුවකු බිහිකර අත්දැකීම් ඇති මවකට වුණත් දෙවැනි දරුවා වෙනස් අලුත් අත්දැකීමක්. දරුවාගෙන් දරුවා වෙනස්ම සුන්දර ලෝකයකට උරුමකම් කියනවා. ඒත් සමාන ලක්ෂණත් තියෙනවා. අම්මලා චූටි පැටවුන් හරියට අඳුනා ගන්නේ කොහොමද? අපි දැන් චූටි පැටියගේ ලෝකයට එබී බලමු.

නිතර අඬනවද?

උපන් අලුත දරුවාට නිදිමත ගතිය වැඩි නිසා සති දෙකක් විතර යනකම් වැඩිය අඬන්නෙ නැහැ. ඒත් සති දෙකක් පමණ ගතවුණාට පසුව අඩු වශයෙන් දරුවා පැය දෙකක්වත් අඩනවා. කතා කරන්න හැකියාවක් නැති පැටියා මේ ඇඩීමෙන් දෙන්නෙ පණිවිඩයක්.

ඒ පණිවිඩය හරිහැටි හඳුනා ගැනීම වැදගත්. බොහෝ අම්මලා හිතන්නෙ පුංචි පැටියා හඩන්නෙ කුසගින්න නිසා කියලයි. ඒත් පැටියගෙ ඈඬිල්ලට හේතු ගණනාවක් තියෙන බව අමතක නොකළ යුතුයි. නැපිය තෙත් වීම, මදුරුවකු කුහුඹුවකු වැනි සතකුගෙන් වෙන අනතුරක් බිළිඳාගේ ඈඬිල්ලට හේතු වන්න පුළුවන්. සෑම නීරෝගි දරුවකුම හඬනවා. අම්මලා බිළිඳුන්ගේ ඈඬිල්ල ගැන සිත කලබල කරගතයුතු නැහැ.

දරුවා හඬන කාරණය සම්පූර්ණවූ පසු හැඬීම නතර කරනවා. ඒත් දරුවා දිගටම අඬනවා නම් එය අසාමාන්‍ය බවක් හැගෙනවා නම් වෛද්‍යවරයකුට දරුවා පෙන්වන්න.

මළමුත්‍රා පිටකිරීම

ලෝකයේ විශිෂ්ටම ආහාරය වන මවුකිරිවලින් සප්පායම් වන දරුසිගිත්තා දවසකට පස් හය වරකට වඩා නැපිය තෙමනවා. මළ පිටකිරීම නම් ඉපදී මුල් දවසේම හෝ දෙවැනි දවසේ තාර මෙන් කළු පාටයි. ඉන්පසුව කොළ පාටටත් ළා දුඹුරු හෝ කහ පාටට මල පිට වෙනවා. මල පිටවන්නෙ දියරමය ස්වරූපයෙන්.

දවසෙම නිදා ගන්නවද?

මවුකිරිවලින් හොදින් සප්පායම් වුණාට පස්සෙ දරුපැටියා සුව නින්දක් ලබනවා. සාමාන්‍යයෙන් අලුත උපන් දරුපැටියෙක් දවසට පැය 16-18 ක් නිදාගන්නවා. ළදරුවකුට ඕනෑම තැනක සුවපහසුවට නින්ද යනවා. ඒත් හොඳම තැන මවු ඇකයයි. දරුවාගෙ මහ ගෙදර ( ගර්භාෂය ) උණුසුම කදිමට දැනෙන්නෙ මවගෙ උකුළෙදියි.

 

උපදෙස්-

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි

 

2020/10/07 තරුණි පුවත්පත බලන්න.