ජීවිතේ ආපස්සට හරවන සූර්යාවර්ත හෙවත් ඉරුවාරදය

ඔක්තෝබර් 28, 2020

අව්වේ ටිකක් ගියත් උදේ නැඟිටලා වැඩක් කරන්න ගියත් "ඔළුව රිදෙනවා ඉන්න බෑ" කියන පිරිස අප අතර බොහෝයි. මේ හිස රදේ හින්දා ඔවුන්ට එදිනෙදා කිසිම වැඩක් කරගන්න බැහැ. මෙමඟින් පීඩා විඳින්නේ කාන්තාවන් පමණක් නොවෙයි. පිරිමි අය වගේම පාසල් යන දරුවන්, උසස් අධ්‍යාපනය ලබන තරුණ පිරිසෙන් වැඩි දෙනෙක් මේ හිස රදේ හින්දා පීඩාවට පත්වී සිටිති.

මේ දවස්වල අප මුහුණ දෙන කෝවිඩ් 19 එක් රෝග ලක්ෂණයක් වන්නේත් හිස රදයයි. ඒ නිසා අපි මේ හිස රදේ ගැන කතාකරමු.

හිස රුදාව එසේත් නැතහොත් හිසරදය, ඔළුවේ කැක්කුම අප බොහෝ දෙනා නිතර අපහසුවට මෙන්ම වේදනාවට පත් කරන ඉතා සුලබ තත්ත්වයකි. එසේ වුවත් හිස රුදාව ඇතිවීමට හේතු වන කාරණා විවිධාකාර වන අතර එබැවින් එය සුළුකොට තකා නො සලකා හැරීම නො කළ යුතුයි.

රෝගය ඇති වීමට හේතු

ආයුර්වේද ග්‍රන්ථයන්හි හිස රුදාව ‘ශිරෝ රෝග‘ යටතේ ඉතා පැහැදිලිව විස්තර කරමින් දක්වා ඇත. ඒ අනුව වාතජ, කඵජ, පිත්තජ, අනන්ත වාත, ආර්ධාවභේදක සහ සූර්යාවර්ථ ලෙස ප්‍රධානව ශිරෝ රෝග වර්ග කර ඇත. පොදුවේ ශිරෝ රෝග ඇතිවීමට හේතු පාදක වන කරුණු එනම් නිධාන කාරණා රැසක් ද සඳහන් වේ.

 

දුම් දුහුවිලි, තද හිරු රැස් ආදියට නිරන්තරනේ නිරාවරණයවීම

පැණි රසැති, ඇඹුල් රසැති ආහාර බහුලව ආහාරයට ගැනීම

සීතල දිය ස්නානය

ස්නානයෙන් පසු හිස හොඳින් වියළා නොගැනීම

දේශගුණික කාලගුණික විපර්යාස

මුත්‍ර, මල ආදී කායික වේග ධාරණය කිරීම

රාත්‍රී කාලයේ අධිකව නිදි වැරීම

දහවල නිදා ගැනීම

ශබ්ද නගා කතා කිරීම

මානසික පීඩා

 

එම කරුණු හැරුණු කොට විවිධ අක්ෂි රෝග, මොළය ආශ්‍රිත රෝග තත්ත්ව, නාසා රෝග, දන්ත රෝග, අධි රුධිර පීඩනය වැනි තත්ත්ව නිසා ද හිසරදය ඇතිවිය හැකියි. වර්තමානයේ බහුල කොරෝනා වෛරස ආසාදන ආදී තත්ත්වවල මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ ලෙස ද මෙම තත්ත්වය ඇති විය හැකියි.

 

 

උපදෙස් ආයුර්වේද වෛද්‍ය

දිලිනි ද සිල්වා

 

 

2020/10/28 තරුණි පුවත්පත බලන්න.