ලංකාවේ දියවැඩියා රෝගීන් වැඩි නිසා කෝවිඩ් - 19 භයානක තර්ජනයක්

නොවැම්බර් 11, 2020

ලෝක දියවැඩියා දිනය යෙදී තිබෙන්නේ නොවැම්බර් 14 වැනි දිනයටයි.

ගුණ, අගුණ නොබලා දිව ඉල්ලන ආහාරවලින් කුස පුරවා ගැනීමෙන්, අලස බව නිසා හෝ කාර්යබහුලකම නිසා ව්‍යායාම නොකර එක තැන අසුන් ගෙන සිටීමෙන් අප විසින්ම කැන්දා ගන්නා රෝග ලැයිස්තුවක් තිබෙනවා.

ඒ අතරින් අංක එකේ සතුරු රෝගය වී ඇත්තේ දියවැඩියාවයි. එසේ කියන්නේ ලෝකයේ වැඩි දෙනකු අන්ධ කරන්නේ, වැඩි දෙනකුගේ වකුගඩු අකර්මණ්‍ය වන්නේ , හදවත් රෝගවලට ගොදුරු කරන්නේ, වැඩි දෙනකුට දෙපා අහිමි කරන්නේ දියවැඩියාව නිසයි.

*කෝවිඩ් - 19 වැනි වසංගතයක් පැතිරෙද්දී දියවැඩියාව ගැන කතා කිරීම මෙතරම් වැදගත්වන්නේ ඇයි?

බෝ වෙන රෝගයක් පැතිරෙන කාලයක බෝ නොවන රෝග ගැන මෙතරම් කතා කිරීමට හේතුව කුමක්ද?

බෝ වෙන රෝගයකින් පීඩා විඳීන විට සිරුරේ ප්‍රතිශක්තිය අඩුයි. එවිට බෝ වෙන රෝගවලට පහසුවෙන් ගොදුරු වෙනවා. ඒ වාගේම මේ අය සංකුලතාවලටත් වැඩිපුර ලක් වෙනවා. බෝ වෙන රෝගවලින් මියයාමේ ඉඩකඩත් වැඩියි. ලෝකයේත් අපේ රටේත් වැඩිපුර මියයන්නේ බෝ නොවන රෝගවලින් පීඩා විඳීන අයයි.

බෝ වෙන රෝග රාශියක් තිබෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය, හදවත් රෝග, පිළිකා, ඇදුම වැනි ස්වසන රෝග, අක්මාවේ මේද ඒ අතරින් ප්‍රධානයි.

* බෝ නොවන රෝග අවදානම ඇතිවන්නේ ජීවිතයේ කොයි කාලයේ සිටද?

කලලයේ සිටම එනම් මවු කුසයේ වැඩෙද්දීම මේ අවදානම ඇතිවනවා. මව මන්දපෝෂණයෙන් පීඩා විඳීම, අඩුබර දරුවකු වීම, දරුවන් සමබල නැති ක්ෂණික ආහාර පාන රටාවකට හුරුවීම, ව්‍යායාම නොකිරීම, උසට සරිලන බරක් පවත්වා නොගැනීම ආදී විවිධ හේතු මේ කෙරෙහි බලපානවා. දැන් බෝ නොවන රෝග වැලඳීමට වයසක් නැහැ. අතීතයේදී නම් වයස්ගත පුද්ගලයන් වැඩි වශයෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වුණත් දැන් දරුවන්, තරුණ අය පවා බෝ නොවන රෝගවලට ගොදුරු වෙනවා. .

*ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ තත්ත්වය කෙබඳුද?

අපේ රටේ දියවැඩියා රෝගීන්ගේ ගණන සියයට දහයත් පමණ වෙනවා. දියවැඩියා

රෝගීයකු කියන්නේ නිරාහාර රුධිර සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 126 ටවැඩිනම්. දියවැඩියා පූර්ව ලක්ෂණ ඇති අයගේ ප්‍රතිශතය සියයට දහයටත් වැඩියි. පූර්ව දියවැඩියාව ඇති අයගේ රුධිරයේ සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 100 -125 ත් අතර පවතිනවා. රුධිරයේ සීනි මට්ටම ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 100 ට අඩු නම් දියවැඩියාව නැහැ.

*පූර්ව දියවැඩියාව ඇති අයට රෝගය පාලනය කළ හැකියි නේද?

වෛද්‍ය උපදෙස් පරිදි සමබල ආහාර ගෙන ව්‍යායාම කර උසට සරිලන බරක් පවත්වා ගැනීමෙන් පහසුවෙන්ම මේ අයට රෝගය දුරදිග නොයවා පාලනය කළ හැකියි.

*දියවැඩියාව ඇති බවට සැකකළ හැක්කේ කෙබඳු ලක්ෂණ ඇතිවිටද?

ඉක්මනින් තුවාල සුවවන්නේ නැත්නම්, කෙට්ටු නම්, අධික ලෙස පිපාසය දැනෙනවා නම්, නිතර නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍යවේ නම් රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාකර ගැනීම ඉතා වැදගත්.

*දියවැඩියා රෝගය වැලඳීමේ අවදානම වැඩිකරන සාධක මොනවාද?

පවුලේ ළඟම ඥාතියකුට රෝගය පවතිනවා නම් තමන්ටත් රෝගය වැලඳීමේ අවදානමක් තිබෙනවා.

ගැබිනි වියේ හැදුණු අයට අවදානමක් පවතිනවා.කිලෝග්‍රෑම් තුනහමාරකට වැඩි බර දරු උපතක් සිදු කළාම ද අවදානම වැඩියි.

වයස අවුරුදු හතළිහට වැඩිනම්, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් පීඩා විඳීන කාන්තාවක නම් දියවැඩියා අවදානම ඉහළයි. පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්ත්වයේදී පිරිමියකුගේ මෙන් රුවුල එයි. ඔසප් වීම අක්‍රමවත් වෙයි.

 

තවත් කොටසක් මීළඟට.....

 

උපදෙස්- ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන

 

2020/11/11 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.