නව කොරෝනා වෛරසය සිරුරට බලපාන්නේ කොහොම ද?

නොවැම්බර් 18, 2020

දිනෙන් දින වෙනස්වන භයානක වන නව්‍ය කොරෝනා වෛරසය තවමත් විද්‍යාඥයන් හඳුනා ගනිම්න් සිටිනවා. ඒ නිසා නව කොරෝනා වෛරසය ගැන සැහැල්ලුවෙන් සිතන්න නම් ඉඩක් කාටවත්ම නැහැ. ඒ වගේම භීතිකාවක් ඇතිකර ගැනීමත් සුදුසු නැහැ. කළ යුත්තේ නව කොරෝනා වෛරස යකා මොන තරම් කළු ද කියා දැන ගැනීමයි. මේ දැන ගැනීමෙන් පසු කවුරු කවුරුත් සුව නීති නම් පිළිනොපැද ඉන්නේ නැහැ.

කෝවිඩ් -19 වැලඳී සුව වුවත් සංකූලතාවලින් ගැලවීමක් නම් නැති බව මෙතෙක් කළ අධ්‍යයනවලින් හෙළිවී තිබෙනවා.

*සිතට සහනයක් නැහැ.

අලුත්ම පර්යේෂණවලට අනුව

නව කොරෝනා වෛරසය අපේ මොළයට කරන බලපෑම සුළුපටු නැහැ. රෝගය වැලඳුණු පස් දෙනකුගෙන් එක් අයකු තෙමසක් තුළදී කාංසාව, විෂාදය, නින්ද නොයාම වැනි තත්ත්වයකින් පීඩා විඳීනවා. මේ බව හෙළිවී තිබෙන්නේ රෝගීන් මිලියන 69.8ක් ඇසුරින් ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක් වූ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් කළ අධ්‍යයනයකින්.

අප නොදන්නවාට සාමාන්‍ය ෆ්ලූ (ඉන්ෆ්ලුවෙන්සා) තත්ත්වයක් වැලඳී සුවවූ පසුව ද මෙවැනි මානසික තත්ත්වයන් ඇතිවෙනවා. ඒත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වන බලපෑම දෙගුණයකින් වැඩියි. මීට හේතුව තවමත් අනාවරණයකර ගෙන නැහැ.

මානසික රෝග සහ කෝවිඩ් -19 අතර පුංචි නෑකමක් තිබෙනවා. යම් මානසික ගැටලුවක් ඇති අය කෝවිඩ් -19 ට වැඩිපුර ගොදුරුවී ඇති බව හෙළිවී තිබෙනවා. කිසියම් මානසික අක්‍රමිකතාවක් ඇති අය කෝවිඩ් -19 ට ගොදුරු වුණොත් මියයාමේ අවදානමක් ද තිබෙන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

දැඩිසත්කාර ඒකකයේ සිටිමින් ප්‍රතිකාර ලැබූවන් මානසික අක්‍රමිකතාවන්ට වැඩිපුර ගොදුරුවී තිබෙනවා.

නරක සිහින දැකීම, සුව නින්දක් ලබා ගත නොහැකි වීම, නැවත රෝහලේ සිටින බවක් හැඟීම, හුස්ම ගැනීමට අපහසුවී ජීවිතය අවසන් බව හැඟීම රෝගීන් සුලබව අත්දකියි.

මෙවැනි තත්ත්වයක් පවතින නිසා සියල්ලන්ම කායික සුවතාව වගේම මානසික සුවතාව ගැන සිතිය යුතු කාලයක් උදාවී තිබෙනවා. රෝගයක් ගැන බියවීමෙන් ප්‍රතිශක්තිය දුර්වලවී ඒ රෝගය වැලඳීිමේ ඉඩ වැඩිවෙනවා.

 

හදවත රිදවන තරම

වෛරස කෙළින්ම සිරුරේ සෛලවලට ප්‍රහාර එල්ල කරයි. නව කොරෝනා වෛරසයෙන් ද ඒ දේ අඩුවක් නැතිව සිදුවෙනවා. ප්‍රධාන වශයෙන් නව කොරෝනා වෛරසය පහර දෙන්නේ පෙනහලුවලට වුවත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිපුර ක්‍රියාත්මක වීම නිසා ශරීරයම ප්‍රදාහයට පත්වෙන්න පුළුවන්.

කෝවිඩ්-19 ආසාදනය වූ විට හදවත ගැන සෙවිල්ලෙන් සිටිය යුත්තේ ඒ නිසයි. අධික වෙහෙසක් දැනෙනවා නම් හුස්ම ගැනීමට අසීරු නම් පපුවේ වේදනාවක් ඇත්නම් හේතුවක් නැතිව ඉදිමීමක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

කලින් හදවත් රෝගයක් නොතිබුණු සමහරුන්ට කෝවිඩ් -19 සුවවූ පසු හදවතට යම් හානියක් සිදුව ඇතිබව හෙළිවී තිබෙනවා. රෝහල්ගත කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොපෙන්වූ ඇතැම් රෝගීන් අතරත් හෘද තුවාල තිබූ පුද්ගලයන් හමුවෙලා. මේ නිසා හෘද මාංසපේශි ප්‍රදාහයට පත්වී හෘද අකර්මණ්‍යතාවක් ඇතිවේයැයි වෛද්‍යවරුන් බිය පළකරනවා. යුරෝපීය රටවල රෝහල්ගත කළ රෝගීන්ගෙන් හතරෙන් එකකට හෘදනාළ ආශ්‍රිත සංකූලතා දක්නට ලැබී තිබෙනවා. සියලු කෝවිඩ් -19 මරණ අතරින් සියයට හතළිහකට පමණ හේතුවී ඇත්තේ සංකූලතායි.

 

 

2020/11/18 තරුණි පුවත්පත බලන්න.