උත්සව සමයේ පැණි රසට පුංචි වාරණයක් පනවමුද?

දෙසැම්බර් 9, 2020

ගෙයින් ගෙයට රස කැවිලි හැදෙනවා - උත්සව කාලේ ඇවිදිල්ලා

කැමැති කැමැති රස දිව ඉල්ලනවා - නො බලන් ඒ දෙස රැවටීලා

නව වසරක උදාව අත ළඟටම ඇවිත්. කවුරුත් රස කැවිලි නැත්නම් සීනි කෑමවලින් කෑම මේස පුරවන කාලයේ රබන් පදයක් මෙන් මේ පද ටික වයන්න වෙලා. බෝවන රෝග හිස ඔසවන කාලයක බෝ නො වන රෝගයකින් පීඩා විඳීම මොන තරම් භයානකද ? ඒ බව කෝවිඩ් - 19 වසංගතය විසින් අපට කදිම පාඩමක් කියාදී තිබෙනවා. නව කොරෝනා වෛරසය ශරීරගතවී අවාසනාවන්ත ලෙස මිය ගිය බහුතරයක් දියවැඩියාව වැනි කුමන හෝ බෝ නොවන රෝගයකින් පීඩා විඳීනවා.

දැන හෝ නො දැන උත්සව කාලයක මොන තරම් සීනි ප්‍රමාණයක් අප ආහාරයට ගන්නවාද? තිබෙන බෝ නො වන රෝග තත්ත්ව උත්සන්න කරගැනීමටත් නැති බෝ නො වන රෝග ඇතිකර ගැනීමටත් හේතුවනවාද?

සීනි තේ හැන්දක සීනි ග්‍රෑම් 4.2 ක් අඩංගුයි. කිලෝ කැලරි කියන්නේ ආහාරයෙහි අඩංගු ශක්තිය මනින ඒකකය. එක සීනි හැන්දක කිලෝ කැලරි 16ක් අඩංගුයි. රස කැවිලි, විවිධ කෑම වර්ග සැකසීමේදී විවිධාකාරයෙන් සීනි කෑමවලට එක් කරනවා. සුක්‍රෝස්, ෆ්රුක්ටෝස්, හනි, කේන් ෂුගර්, මාපල් සිරප්, ඩෙක්ස්ට්‍රොස් වැනි විවිධාකාරයෙන් සීනි ආහාරවල අඩංගුයි. නම කුමක් වුවත් එක් හැන්දක අඩංගු සීනි ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. අප පානය කරන බෝතලයේ හෝ පැකැට්ටුටේ ද එහි අඩංගු සීනි ප්‍රමාණය දක්වා තිබෙනවා. සීනි මිලිලීටර් 100 කියා දක්වා තිබෙනවා නම් සීනි තේ හැඳී 2 ක් අඩංගුයි.

සීනි යොදා රසකළ බීමවල ලේබලයේ සඳහන්කර ඇති වර්ණ සංඥා කේත අනුව අප ගන්නා පාන වර්ගවල අඩංගු සීනි ගැන අදහසක් ලබාගන්න පුළුවන්. මේ වර්ණ සංඥා කේත අපට මහ මඟදී නිතර ඇස ගැසෙන ට්‍රැෆික් ලයිට් හා සමානයි. වර්ණ සංඥා කේතයේ කොළ පැහැයෙන් අඩු සීනි සංකේතවත් වෙයි. කොළ පැහැය යොදා ඇත්තේ මිලිලීටර් 100 ක සීනි තේ හැඳී 1/2 කට වඩා අඩුවෙන් ඇති විටයි. තැඹිලි පැහැයෙන් දැක්වෙන්නේ මධ්‍යස්ථ ප්‍රමාණයෙන් සීනි අඩංගු බවයි. එසේ සඳහන් කරන්නේ මිලිලීටර් 100 ක සීනි තේ හැඳී 1/2 ක් - 3 ක් අතර ඇතිවිටයි. භයානක අනතුරු ඇඟවීමක පැහැය රතු පැහැයයි. ආහාර පිළිබඳ වර්ණ සංඥා කේතයේ ද වෙනසක් නැහැ. අඩංගු සීනි ප්‍රමාණය රතු පැහැයෙන් දක්වා ඇත්නම් එහි අධික සීනි ප්‍රමාණයක් අඩංගුවී තිබෙනවා. එය මිලිලීටර් 100 ක සීනි තේ හැඳී 3 කට වැඩි ප්‍රමාණයක්.අප සුපිරි වෙළෙඳ සලකින් ආහාර පාන මිලදී ගැනීමේදී වර්ණ සංඥා කේත පමණක් ඇති නිෂ්පාදන මිලදී ගත යුතුයි. අප නිතර භාවිත කරන කෑම බීමවල සැඟවුණු සීනි ප්‍රමාණ සිතාගත නොහැකි තරම් අති විශාල ප්‍රමාණයක්. චොකලට් ස්ලැබ් එකක (ග්‍රෑම් 100ක) සීනි තේ හැඳී 14 ක් ද චොකලට් දවටන ලද බිස්කට් නවයක (ග්‍රෑම් 100ක) සීනි තේ හැඳී 11 ක් ද පලතුරු කේක් / බටර් කේක් ග්‍රෑම් 50 ක කෑල්ලක සීනි තේ හැඳී 5 ක් ද කෝලා කාබනීකෘත පාන වීදුරුවක (මිලිලීටර් 200 ක) සීනි තේ හැඳී 5 ක් ද වැනිලා අයිස්ක්‍රීම් ග්‍රෑම් 100 ක සීනි හැඳී 4 1/2 ක් ද ලෙමනේඩ් වීදුරුවක (මිලිලීටර් 200 ක) සීනි තේ හැඳී 3 ක් ද ජෑම් මේස හැන්දක (ග්‍රෑම් 20 ක) සීනි තේ හැඳී 3 ක් ද මෝල්ටඩ් කිරි පාන මේස හැන්දක (ග්‍රෑම් 15 ක) සීනි තේ හැඳී 1-2 ක් ද තක්කාලි සෝස් මේස හැන්දක (ග්‍රෑම් 15 ක) සීනි තේ හැඳී 1ක් ද අඩංගුයි.

සීනි දුම්වැටි මෙන් ඇබ්බැහි කාරකයක්. සීනි කෑම දකින විට අපේ මොළය උත්තේජනය වී ප්‍රබෝධයක් ඇතිවී වැඩි වැඩියෙන් කෑමට පෙලඹෙනවා. සීනි නැතිවම බැරි තත්ත්වයට පත් වෙනවා. කුහුඹුවන්ටත් වඩා සීනිවලට ඇබ්බැහිවී සිටින අපට මේ නරක පුරුද්ද එක්වරම නතර කරන්න බැහැ. එහෙත් සති තුනකින් අපට අලුත් පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. තමන්ගේ සුවසෙත වෙනුවෙන් සීනි අඩුවෙන් ගැනීමට සති තුනක් පුරුදු වුවහොත් එයට ඉබේම හැඩගැහෙනවා.

කෝවිඩ් - 19 එක් වසංගතයක් පමණයි. ඉදිරියට තවත් භයානක වෛරස් ගණනාවකටම මිනිසාට මුහුණ දීමට සිදුවන බව විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා. බෝවන රෝග, වසංගත රජයන කාලයක සංකුලතා ඇතිවී මාරාන්තික තත්ත්වයට වැඩිපුරම පත් වන්නේ බෝ නො වන රෝගවලින් පීඩා විඳීන අයයි. ඔබත් ඔබ පවුලේ අයත් අද අදම සීනිවලට වහල් නොවී පමණ දැන සීනි ආහාරයට ගන්න. වසංගතයක ගොදුරක් නො වන්න.

 

විශේෂ ස්තුතිය බෝ නො වන රෝග ඒකකයට සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය

ශාන්ති ගුණවර්ධන මහත්මියට