කොරෝනා රෝගයේ දරුණු බව අඩු කරන ආහාර ලේඛනයක්

ජනවාරි 6, 2021

වසර අලුත් වූවා කියා මෙවර නම් සිතන්නට අලුත් දෙයක් නැති තරම්ය. කෝවිඩ් - 19 නිසා පෙරළෙන්නේ පරණ පිටුම ය. 2020 නම් අතීතයත් 2021 නම් අනාගතයත් යා කරන පාලම වී ඇත්තේ නව කොරෝනා වෛරසයයි. මේ ගැන දැන ගන්නා සෑම තොරතුරක්ම අපට රෝගයෙන් ආරක්ෂා වීමේදී වැදගත් වෙයි.

* යුරෝපීය විද්‍යාඥයන් පිරිසක් කොරෝනා දරුණු වීම අඩු කරන ආහාර වට්ටෝරුවක් රැගෙන එයි

නව කොරෝනා වෛරසය ශරීරගත වුණත් එය භයානක වන්නේ දරුණු ලෙසින් බලපෑ විටය.

විද්‍යාඥයන් පිරිසක් රෝගයේ දරුණු බව අඩු කරන අපට හුරු පුරුදු ආහාර ලේඛනයක් ඉදිරිපත්කර තිබෙයි.

 

* කෙලවල්ලා ( ටූනා ) නැවුම් ලෙස හෝ ටින් කරන ලද හෝ ටූනා කෑමට ගත් විට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රබල ශක්තියක් සිරුරට ලැබෙයි. මෙහි විටමින් බී 12, ඔමෙගා - 3 සහ අධිකව ප්‍රෝටීන අඩංගු ය.

 

*කෙෆීර් නම් යෝගට් වැනි මුදවන ලද පානයෙන් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් නම් තත්ත්වයෙන් සහනයක් ලද හැකිය.

රුධිර පීඩනය සහ යහපත් කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට ද උපකාරී වෙයි. කැල්සියම් සහ ප්‍රෝටීනවලින් පොහොසත් කෙෆීර් වෛරස් ප්‍රතිරෝධී ගුණයක් ද පවතියි.

* ඩාර්ක් චොකලට් සහ මිදි

ග්‍රීන් ටී, මිදි, ඩාර්ක් චොකලට්, බ්ලූබෙරිවල ෆ්ලේවනෝල් අඩංගුය. ෆ්ලේවනෝල් සෞඛ්‍ය වාසි රැසක් අපට අත්පත්කර දෙයි.

වයස අවුරුදු හැට ඉක්මවූවන්ගේ පාදවල රුධිර සංසරණය වැඩි දියුණු කිරීම ඊට එක් උදාහරණයකි. මේවාට නව කොරෝනා වෛරසය මැඩලීමේ හැකියාවක් ද පවතියි.

 

 

*එන්නත පිළිබඳ මිථ්‍යා මත දුරලමු

 

එන්නත් පිළිබඳ මී පොරයෙන් මේ වන විට එන්නත් එකක් දෙකක් පෙරමුණට පැමිණ සිටියි. යම් කාලයකට හෝ රැකවරණය දෙන මේ එන්නත් ජය සමරන්නට පෙර ම ඒ ගැන විවිධ මිථ්‍යා මත ද පැතිරෙමින් පවතියි.

එන්නතක් පැමිණි පසු මුහුණු ආවරණ ඉවත් නො කළ යුතු යයි සමහරු සිතති.

මුහුණු ආවරණය කරදරකාරී අත්දැකීමක් බව සත්‍ය වුවත් අපට සිදුවී ඇත්තේ පැමිණි දුක් පැණි රස බව සිතා ඒ යහ සුව පුරුද්දට අනුගත වීමය.

මුව ආවරණ පැලඳීම, සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිතර සබන් ගා අත් සේදීම අපට කෝවිඩ් - 19 ආරක්ෂා වීමට ගත හැකි ප්‍රධාන ක්‍රියාමාර්ග තුනය.

එන්නතක් සොයා ගත්තා කියා හෝ එන්නත ලබා ගත්තා කියා ඒ සුව පුරුදු ඈත් කිරීමට නම් අපට අවසරයක් නව කොරෝනා වෛරසයෙන් ලැබෙන්නේ නැත.

එන්නතක් සොයා ගනු ලැබුව ද ප්‍රතිශක්තිය එතරම් දිගු කාලයක් නො පැවතීම නිසා සුව පුරුදු අමතක කිරීම නැග්ග ඉනි මඟට පහර දීමක් හා සමාන ය.

අපේ ප්‍රතිශක්තිය ඉහළ බව සිතා එන්නත ලබා නො ගත්තොත් එය ද වැරැදි ය.

තවත් අය එන්නත ලබා ගත් පසු කෝවිඩ්- 19 වැලඳේවියි සැක පළකරයි.

එන්නතක් නිර්මාණය කරන්නේ දුර්වල කරන ලද හෝ අක්‍රීය කරන ලද සම්පූර්ණ වෛරසවලින් හෝ වෛරසවල තෝරාගත් කොටස්වලින්ය. මිනිසාට එන්නත ලබා දීමට පෙර මීයන් වැනි සතුන්ට එන්නත ලබාදී පරීක්ෂණ සිදු කරයි. ඉතිහාසයේ මේ දක්වා නිපදවුණු සියලුම එන්නත්වලින් සිදුවූයේ මිනිසා රෝගවලින් ආරක්ෂා වීමය. නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත ද ඒ හා සමානය.

 

*ආර්ද්‍රතාවත් කෝවිඩ් මඬින්න යොදා ගනියි

 

හොඳීන් වාතාශ්‍රය නැති රෝහල්, පාසල්, කාර්යාල වැනි ගොඩනැඟිලිවල කෝවිඩ් - 19 රෝගකාරක වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට ආර්ද්‍රකාරක ( හියුමිඩිෆියර් ) භාවිත කිරීම සුදුසු බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. සංවෘත පරිසරයකදී සාපේක්ෂ ආර්ද්‍රතාව 40% - 60% ත් අතර පවත්වා ගැනීමෙන් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කළ හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. වියළි ස්ථානවල වාතය හරහා නව කොරෝනා වෛරසය තෙතමනය ඇති ස්ථානවලදීට වඩා ව්‍යාප්ත වෙයි. එයට හේතුව වියළි පරිසරයේදී වෛරස අංශු අඩු අවම තෙතමනයක් උරා ගෙන වැඩි කලක් පරිසරයේ රැඳී තිබීමය.

 

අන්තර්ජාලයෙනි