ගැබිනි මවුවරුන් සායනයට යා යුතුමයි

ජනවාරි 13, 2021

දරුවකු පිළිසිඳුණු දිනයේ සිට මවකට රාත්‍රීන් දිගු වෙයි. නව මාසයක් යන තුරු ඇය ඇඟිලි ගණින්නේ නුදුටු අමුත්තා දකින තුරු ඇති නො ඉවසිලිමත්කම නිසයි. මේ ආදරණීය චාරිකාවට මවකට වෙනදාටත් වඩා පරෙස්සමෙන් යාමට සිදුව තිබෙයි.

ඒ කෝවිඩ් - 19 වසංගතය ලොවම ගිලගනිමින් පවතින බැවිනි. ලංකාවේත් මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිත වූ මවුවරුන් හයසියයක් පමණ ප්‍රතිකාර ලබති. ගැබිනි මවුවරුන්ට කෝවිඩ් - 19 වැලඳීමට වැඩි ඉඩක් ඇති බව සනාථ වී නැත. එහෙත් ගර්භණී අවදියේ ෆ්ලූ මවගේත් දරුවාගේත් යහපතට අවදානම් පිරිස අතරට ඔවුන් ද ඇතුළත්කර තිබෙයි. ඊට හේතුව ෆ්ලූ වැනි රෝග ඇති කරන වෛරස අවදානම ගැබිනි වියේදී වැඩි නිසයි.

මවට වෛරසය ශරීරගත වීම ගබ්සා වීමට හෝ කලලයේ විකෘතිතා ඇතිවීමට කිසිසේත්ම හේතුවන්නේ නැත. එහෙත් ආසාදිත මවගෙන් දරුවා ඉපදීමට පෙර වෛරසය ආසාදනය විය හැකිය. එවිට දරුවා තුළ ප්‍රතිශක්තියක් ඇති වෙයි. වෛරසය සිඟිති සිරුරේ වර්ධනය වුණත් නීරෝගිකමට එය බාධාවක් වන්නේ නැත.

නිතර සබන් ගා දෑත් සෝදන්නේ නම්, අනවශ්‍ය ගමන් නොයා නිවෙසට වී සිටින්නේ නම් සමාජ දුරස්ථ භාවය පවත්වා ගන්නේ නම් ( මීටර් දෙකකවත් දුර ) මවකට පහසුවෙන්ම රෝගයෙන් ආරක්ෂා වී සිටීමට පුළුවන. වෛද්‍යවරයා නො එන ලෙස දැන්වුවහොත් හැර අනිවාර්යයෙන්ම සායනයට යා යුතුයි.

මවක පහත ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍යවරයාට දැන්විය යුතුයි.

දරුවා චලනය වන්නේ වෙනදාට වඩා අඩුවෙන් නම්

දරුවා චලනය වන බව නො දැනෙන්නේ නම්

චලනය වන රටාවේ වෙනසක් ඇත්නම්

යෝනි මඟින් සුළු හෝ රුධිර වහනයක් වනවා නම්

කාංසාවක්, සිතට කරදරයක් දැනෙනවා නම්

සුව නො වන හිසරදයක් ඇත්නම්

විවේකයෙන් සිටින විට හාන්සි වී සිටින විට පවා හුස්ම ගැනීමට අසීරු නම් වහාම වෛද්‍යවරයාට දන්වන්න.

කොරෝනා වැලඳුණු මවකගේ ප්‍රසූතිය වෙනම කොරෝනා මවුවරුන්ටම වෙන්වූ ප්‍රසූතාගාරයක සිදු කරනු ඇත. ස්වාභාවික දරු ප්‍රසූතියටවත් සිසේරියන් සැත්කමටවත් කෝවිඩ් - 19 වැලඳීම බාධාවක් වන්නේ නැත.

දරුවා නව ජන්ම ඒකකයේ තැබීමේ අවශ්‍යතාවක් නැත්නම් රෝගී බවක් පෙන්නුම් කරන්නේ ද නැත්නම් ආසාදිත මවකට දරුවා සමඟ වෙනත් මවුවරුන් මෙන්ම උත්තරීතර දරු සෙනෙහස සමට සම ගැටෙන සේ තබමින් පවත්වාගත හැකිය.මවුකිරි හරහා නව කොරෝනා වෛරසය ආසාදනය වන බවට සාක්ෂියක් නැත. ඒ නිසා දරුවාගේ උරුමය සැකයක් නැතිව ලබා දිය හැකිය.

වසංගත සමයේ විශේෂ උපදෙස්

නිවෙසේ සිටීමට සැම විටම උත්සාහ කළ යුතු නමුත් ක්‍රියාකාරී වීම, හොඳීන් ජලය පානය කිරීම ඉතා වැදගත්ය. එවිට ගැබිනි වියේදී රුධිර කැටි ඇති වීම වළක්වාගත හැකිය.

ෆෝලික් අම්ලය ගැනීමත්, සමබල ආහාර ගැනීමත් වැදගත්ය.

කොරෝනා ලකුණු ඇතිවුවහොත් මොකද කරන්නේ?

නව කොරෝනා වෛරසය ශරීරගතවූ බව දැනගන්නේ කෙසේද? කෝවිඩ් - 19 ප්‍රධාන ලකුණු ලෙස දක්වන්නේ අධික උණ, නො නවත්වා පවතින කැස්ස හෝ සාමාන්‍ය පරිදි ගඳ, සුවඳ නො දැනී යාම ය. මේ ලකුණුවලින් එකක් හෝ රෝගීන්ගේ දැකිය හැකිය. මෙවන් ලකුණු ඇත්නම් වහාම වෛද්‍යවරයාට දැනුම් දෙන්න. රෝග ලක්ෂණ දරුණු වන්නේ නම් එයින් සිතා ගත යුත්තේ රෝගය දරුණු වී ගෙන එන බවයි. වි‍ශේෂ ප්‍රතිකාර අවශ්‍ය නිසා වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

මුලු ගර්භණී කාලය පුරාම දුරස්ථභාවය පවත්වා ගැනීම සබන් ගා දෑත් සේදීම වැදගත් වගේම ගැබට සති 28න් පසු වඩාත් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

අවාසනාවකට යුරෝපයට වඩා ආසියාතික මවුවරුන් ආසාදනය වීමේ ප්‍රවණතාව ඉහළයි. වයස අවුරුදු 35 ට වැඩි නම්, ස්ථුල නම්, කලින් අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග තත්ත්ව තිබුණා නම් නව කොරෝනා වෛරසය ආසාදනය වූ විට රෝග තත්ත්වය උත්සන්න වීමේ අවදානමක් පවතියි.

 

 

උපදෙස් -

නාරි හා ප්‍රසව වෛද්‍ය

විශේෂඥ විජිත් විද්‍යාභූෂණ