වසංගත සමයේ මනසට සුවදායක ලෙස ප්‍රවෘත්ති අසමු

ජනවාරි 20, 2021

වෙනදා නිදි පැදුරෙන් අවදිවූ මොහොතේ සිට මෙරට, පිටරට ටෙලි නාට්‍ය ගැන සිහින දකින අපේ අයට මේ කාලයේ නම් පුංචි තිරයෙන්, සමාජ ජාලා වෙබ් අඩවි මඟින් රැගෙන එන පුවත්වලින් බැහැර ලෝකයක් නැති තරම්ය.

කෝවිඩ් - 19 සෑම මොහොතකම ප්‍රවෘත්ති ඇසීමේ උනන්දුව දෙතුගුණ තෙගුණකර තිබෙයි. කෝවිඩ් නැතත් සමහරුන්ට ප්‍රවෘත්තිවලින් තොර ජීවිතයක් නැත. සැබැවින්ම මේ කාලයේ එවැනි උනන්දුවක් දැක්වීම ගැන පුදුම විය යුතු ද නැත. නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නේ කොහොමද? වෛරසය ගැන ඇති අලුත් තොරතුරු මොනවාද? ලෝකයේ, රටේ පවතින තත්ත්වය කෙබඳුද? මෙවැනි ප්‍රශ්න සිතෙහි ජනිත වීම අස්වාභාවික නොවෙයි. එමෙන්ම පුවත් මඟින් ඊට පිළිතුරු සෙවීම සාධාරණය. පුවත් ගැන විමසිලිමත් වීම වරදක් නො වෙයි. අපේ ආරක්ෂාව ගැනත් අන් අයට ආරක්ෂාව සැලැස්වීම ගැනත් බොහෝ තතු ප්‍රවෘත්ති මඟින් දැන ගැනීමට පුළුවන.

එහෙත් සමහරු පුවත් අසා අනවශ්‍ය ලෙස බිය වෙති. තවමත් වෛද්‍යවරුන්ටත් ගැටලුවක්වූ රෝගයක් පිළිබඳ යම් බියක් ඇති වීම ස්වාභාවිකය. එහෙත් අනවශ්‍ය ලෙස බියවී ප්‍රවෘත්තියේ ඇති දේ අන් අයට දෙගුණ තෙගුණකර කීමෙන් සිදුවන්නේ වරදකි. දැන් තමන් දැනගත් පුවත අන් අයට ක්ෂණිකව පැවසීමට හැකි වොට්ස්ඇප්, වයිබර් වැනි නවීන තාක්ෂණික ක්‍රම රාශියකි. ඇතමුන් අන් අයට තමන් ඇසූ පුවත පවසන්නේ විකෘති කරමිනි.

සිතන්න. ඔබ දිනකට මොනතරම් ප්‍රවෘත්ති අසනවාද? ප්‍රවෘත්ති ලබා ගන්නේ කුමන මාර්ගවලින්ද? විශ්වසනීය පුවත්වලට පමණක් ප්‍රමුඛතාව දීමට අප වග බලාගත යුතුය. රජය, සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන පුවත් කෙරෙහි අපට පූර්ණ විශ්වාසය තැබිය හැකිය. එහෙත් අප වැඩිදෙනෙක් ප්‍රවෘත්ති ලබා ගැනීමට පුරුදු වී සිටින්නේ කුමන මාධ්‍යයෙන්ද? සමහරු මුහුණු පොතේ, සමාජ වෙබ් අඩවිවල පුවත්වලට මුල් තැනක් ලබා දෙයි. අලුත් කතිකාවත් ද මේ පුවත් ඇසුරින් ඇති කරයි. නව ඔසු පිළිබඳ, දවසේ ආසාදිතයන් ගණන, මියගිය ගණන, මිය යාමට හේතු, කෝවිඩ් රැලි කොපමණ ගණනක් එයිද? මෙවැනි දේ ගැන එකිනෙකාගේ අදහස් සමාජ වෙබ් අඩවි මඟින් ඕනෑතරම් ගලා එයි. මෙහිදී අප සූක්ෂම නො වුණොත් එය අපේ කායික සෞඛ්‍යයට පමණක් නොව මානසික සෞඛ්‍යයට ද අහිතකරව බලපායි. රෝගය ගැන, මරණ ගැන, මිය යාමට හේතූන් ගැන පවසන්නේ දත්ත ඇති සෞඛ්‍ය බලධාරියකු නො වෙයි නම් දෙවරක් සිතන්න. මේ දිනවල සමාජ වෙබ් අඩවි මඟින් ලැබෙන උපදෙස්වලින් ද අඩුවක් නොමැත. වසංගතයෙන් බේරීමට ගත යුතු විවිධ ඔසු ගැන ඇවතුම් පැවතුම් පවත්වා ගත යුතු ආකාරය ආදිය ගැන විවිධ උපදෙස්වලින් සමාජජාලා පිරී‘තිරි ගොසිනි. එවැනි කරුණු තමන්ට එවන ( ෂෙයා කරන ) පුද්ගලයාගෙන් කාරුණිකව එහි සත්‍යඅසත්‍යතාව විමසන්න. බොහෝවිට තමන්ට එවූ පුද්ගලයා පවසන්නේ තමන්වත් එහි ඇත්ත නැත්ත නො දන්නා බවය.

ලබා ගන්නේ නිවැරැදි තොරතුරු ද කියා දැන ගැනීමේ විශාල වගකීමක් අප සතුව ඇත. හරි තොරතුරු පමණක් අන් අයට යැවීමේ වගකීම ද අප සතුය. තමන්ට ලැබෙන වැරැදි තොරතුරු දුටු තැන ම ඉවත් කරන්න. ( ඩිලීට් කරන්න) නිවැරැදි තොරතුරු පමණක් බෙදා හරින්න. අනවශ්‍ය හා වැරැදි දත්තවලින් අපේ මොළය පිරී යාම අපේ මානසික සෞඛ්‍යයට කොහෙත්ම හිතකර නො‍ වෙයි. අන් අයට යැවීමෙන් ඔවුනගේ මානසික සෞඛ්‍යය ද පිරිහෙනු ඇත.

වසංගතයක් පවතින සමයේ ලැබෙන දත්ත නිවැරැදිව හසුරුවා ගැනීම නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම වගේම වැදගත්ය. විශේෂයෙන්ම සතර අතින් අතොරක් නැතිව පුවත් ගලා එන මෙවැනි කලක එය ඉතා වැදගත් වෙයි.

 

 

උපදෙස්

කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සායනික මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය

ප්‍රියාංජලී ද සොයිසා