ජීව පටක පරීක්ෂාවක වැදගත්කම දන්නවා ද?

ජීව පටක පරීක්ෂාවට සිරුරේ ඕනෑම තැනකින් පටක සාම්පල ලබා ගත හැකියි.
ජනවාරි 20, 2021

 

“මට බයොප්සියක් කරන්න නියම කළා. “ වෛද්‍යවරයෙක් මෙසේ පැවසුවොත් සිතේ පුංචි තිගැස්මක් ඇතිවීම ස්වාභාවිකයි. එය සුළු සැත්කමක් වගේ සිතීමත් එවැන්නක් කරන්නේ ඇයිදැයි සිතීමත් මේ තිගැස්මට හේතුව වෙන්න පුළුවන්. ජීව පටක පරීක්ෂාවක් නො එසේනම් කටවහරේ පවතින අන්දමට බයොප්සියක් කියන්නේ කුමක්ද ?

සිරුරේ පටක ස්වල්පයක් රැගෙන අන්වීක්ෂයක් තුළින් කරන පරීක්ෂාව මෙලෙස හඳුන්වනවා. ජීව පටක පරීක්ෂාවට සිරුරේ ඕනෑම තැනකින් පටක සාම්පල ලබා ගත හැකියි. සම, අවයව ඇතුළු සිරුරේ ඕනෑම තැනකින් ජීව පටක ගැනීම සිදු කෙරෙයි.

ජීව පටක පරීක්ෂාව සිදු කරන්නේ ඇයි?

වකුගඩු, අක්මාව වැනි අවයවවල ක්‍රියාකාරිත්වයන්හි ගැටලුවක් ඇති බවට සැක නම්

යම් අවයවයක් ඉදිමී ඇති බවට සැක නම්

අන්වීක්ෂයෙන් පටක පරීක්ෂා කිරීමේදී අසාමාන්‍ය සෛල දක්නට ලැබුණො ත් ඒ මාර්ගයෙන් ඇතිවී තිබෙන තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. ජීව පටක පරීක්ෂාව කිරීමට පෙර රෝග තත්ත්වය හඳුනා ගෙන තිබුණා නම් බයොප්සියෙන් රෝගයේ දරුණු බව දැන ගැනීමට ලැබෙනවා. උදා - ප්‍රදාහයක් පවතිනවා නම් ප්‍රදාහය කුමන තත්ත්වයේ පවතිනවාද කියාත් පිළිකාවක් නම් කුමන අවදියේ පවතිනවා ද කියාත් ( පිළිකාවේ දරුණු බව ) දැනගත හැකියි.

මේ පරීක්ෂාව ඉතා වැදගත් වන්නේ වඩාත් සුදුසු ප්‍රතිකාරය තෝරා ගැනීමේදීයි. සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමට ජීව පටක පරීක්ෂාව හරිම ප්‍රයෝජනවත්.

ජීව පටක පරීක්ෂාව උදව් වෙන්නේ මොන වගේ රෝග තත්ත්වවලදීද?

*පිළිකා

*ප්‍රදාහ ( අක්මාවේ ප්‍රදාහ - හෙපටයිටිස් වැනි, නෙෆ්‍රයිටිස් වැනි වකුගඩු ප්‍රදාහ )

*ආසාදන - වසා ගැටිතිවල ආසාදන ( උදා - ක්ෂය රෝගය වසා ගැටිතිවලට බලපා ඇති විට )

* සමේ ඇතිවන විවිධ තත්ත්වයන්

සමේ ඇතිවන වර්ධනයක්, ගැටිත්තක් සායනික පරීක්ෂා‍වෙන් පමණක් පිළිකාමය තත්ත්වයක් ද පිළිකාමය නො වන තත්ත්වයක් ද කියා කිව නො හැකියි. ඒ සඳහා ජීව පටක පරීක්ෂාවක් කළ යුතුමයි. ජීව පටක පරීක්ෂාවක් කිරීමට නිර්දේශ කරන්නේ ඒ නිසයි.

විවිධ වූ ජීව පටක පරීක්ෂාවන්

ජීව පටක පරීක්ෂාවන් කියූවාට සෑම ජීව පටක පරීක්ෂාවක් ම එක හා සමාන නැහැ.

විශේෂ උපකරණයකින් සමේ කුඩා සිදුරක් සාදා සමේ සාම්පලයක් ගෙන පරීක්ෂා කරනවා.

සිදුරක් සහිත විශේෂ ඉඳීකටුවක් භාවිතයෙන් සිදු කරන ජීව පටක පරීක්ෂාව - මෙහිදී ඉඳීකටුවෙන් පටකයක් හෝ මාංසපේශිවලින් / අස්ථිවලින් / අනෙකුත් අවයවවලින් ( පෙණහලු, අක්මාව වැනි ) තරල සාම්පලයක් ගැනීම සිදු කරනවා. ගැටිත්තක්, ආසාදනයක්, ප්‍රදාහයක් ඇතිවිට සිදුරක් සහිත විශේෂ ඉඳීකටුවක් භාවිතකර ජීව පටක පරීක්ෂාවක් සිදු කරනවා. ඇතැම් විට ජීව පටක පරීක්ෂාවට පෙර එක්ස්රේ, සීටී ස්කෑන්, එම්ආර්අයි, අල්ට්‍රාසවුන්ඩ්, පරීක්ෂණ සිදු කරනවා. ජීව පටක පරීක්ෂාවට කිසිදු විශේෂ සූදානමක් අවශ්‍ය නැහැ. එහෙත් විශේෂ ඉඳීකටුවක් භාවිතයෙන් සිදු කරන ජීව පටක පරීක්ෂාවට පෙර රුධිරයේ උකු බව අඩු කරන ඇස්පිරින් වැනි ඔසු ගැනීම නතර කරන ලෙස පවසනවා. සිරුරේ කුමන ස්ථානයක ජීව පටක පරීක්ෂාව කරනවාද යන්න මත පරීක්ෂාවට පෙර කෑම බීම ගතයුතුද නැත්ද යන්න තීරණය වෙනවා.

එන්ඩොස්කොපික් ජීව  පටක පරීක්ෂාව -

එන්ඩොස්කොපි නම් උපකරණයෙන් පටක ඉවතට ගැනීම සිදු කරනවා. එන්ඩොස්කොපි කියන්නේ දිග, සිහින්, නැවෙනසුලු බටයක්. මෙහි කෙළවරේ කැමරාවක් තිබෙනවා. සිරුරේ ඇතුළත ඡායාරූපගත කර රූපවාහිනී තිරයට ගෙන පරීක්ෂා කරනු ලබනවා. මුවෙන් උගුර හරහා පහළට උපකරණය යවා ඡායාරූප ගැනීමට වාගේම සමේ සිදු කරන කැපුමකින් ද එන්ඩොස්කොපි උපකරණය සිරුර තුළට යැවිය හැකියි. කෙනකුගේ අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම් ( ගිලීමේ අපහසුතා, සුව නො වන උදර වේදනා, ඩයරියා, අසාමාන්‍ය ලෙස බර අඩු වීම, නිතර ආමාශ දාහය පැවතීම, මලවල රුධිරය තිබීම වැනි ) එන්ඩොස්කොපි පරීක්ෂණය සිදු කරනවා.

විච්ඡේදන ජීව පටක පරීක්ෂාව - විශාල පටක කොටසක් ඉවත් කිරීමට යොදා ගන්නවා.

සැත්කමක් අතරතුරේ පටක සාම්පලයක් ගෙන පරීක්ෂා කිරීම ද සිදු වෙනවා. මෙසේ කරන්නේ සැත්කම ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වීමක් වශයෙන් හෝ වැඩි දුරටත් කරන ප්‍රතිකාර සඳහායි.

ජීව පටක ලබා ගන්නා තැන අනුව පටක ලබා ගන්නා ආකාරය තීරණය කරනු ලබනවා.

බොහෝ ජීව පටක පරීක්ෂාවන්ට රෝහලේ නතර වීමට සිදු වන්නේ

නැහැ. බහුතරයක් පරීක්ෂාවන් වේදනාකාරී ද නැහැ. සිරුරේ සාම්පලය ලබා ගන්නා තැන අනුව

රෝහල්ගත වීම හා වේදනාකාරී බව තීරණය වෙනවා. සමහර ජීව පටක පරීක්ෂාවන්ට පැය කිහිපයක් රෝහල්ගත වීමට සිදු වෙනවා. මැහුම් දැමීමට සිදුවන ජීව පටක පරීක්ෂාවන් ද තිබෙනවා. රෝගියාගේ රෝග තත්ත්වය අනුව ප්‍රතිඵල වාර්තාව ලැබෙන වෙලාව වෙනස් වෙනවා.

 

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි