ආදරය කරද්දී මේ ගැන අමතක කරන්න එපා

පෙබරවාරි 10, 2021

හෙට විශේෂ දවසක්. “

“ අපේ ආදරණීයම දවස. කොහෙද හෙට යන්නෙ ? “

“ අපි මාර ගහ යටදිම හම්බ වෙමු. ආදරය වෙනස් වෙන්නෙ නැහැ වගේ අපි හම්බ වෙන තැනත් වෙනස් කරන්න ඕන නැහැ.

 

“ ඔයා හරි හොඳයි. විනීශාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ මාව එක එක තැනට එක්ක ගෙන යන්නෙ නැහැ. “

“ අපි ඇත්තටම මැරි කරන්නනෙ ඉන්නෙ. පරණ කතාවකුත් තියෙනවනෙ. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕන නැහැ කියලා. ඔයා විනීශාට කියන්න මධුෂාන්ගෙන් පරිස්සම්වෙන්න කියලා. මගේ යාළුවා තමයි. ඒත් යන යන තැන කෙල්ලො. “

“ විනීශාට කිව්වට අහන්නෙ නෑ. එයාටත් ආදරය විහිළුවක් වගෙයි. “

“ අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී වගේ එයාලා ජීවිතේ විනාශකර ගන්නවා. “ වැලන්ටයින් ඩේ “ නැත්නම් පෙම්වතුන්ගේ දිනය වෙන් කරලා තියෙන්නේ සැබෑ ආදරවන්තයන් වෙනුවෙන්. ආදරය කියන්නේ ගිනි කූරක් පත්තු කරනවා වගේ මොහොතක් පවතින දෙයක් නෙවෙයි. ජීවිත කාලය පුරාම හදවත වගේ රැක ගන්න ඕන දෙයක්. “

“ මගෙන් විනීශා කොන්ඩම් ගැන ඇහුවා. මාත් වෛද්‍ය ශිෂ්‍යාවක් නිසා ඒකෙ වැදගත්කම එයාට කියලා දුන්නා. එයා වගේ කෙනකුට තැන තැන යන්න එපා කියලා අවවාද කරලා වැඩක් නෑ. අඩු ගාණෙ ගෑනි ලෙඩවලින් පරිස්සම් වුණාම කවද හරි හොඳ පවුල් ජීවිතයක්වත් ගත කරයි. “

“පෙබරවාරි 13 ලෝක කොණ්ඩම් දිනය විදියට නම් කරලා තියෙන්නේ ඔය වගේ ඇත්ත ආදරය ගැන කිසිම හැඟීමක් නැතුව ආදරය සෙල්ලමක් කරගත්ත අය වෙනුවෙන්. කොණ්ඩම් නිසා එයාලට දරු පවුලක් ගැන හිතන්නවත් පුළුවන්නෙ. “

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන පුංචි දැනුමක් හරි තියෙනවා නම් මේ අය අනාරක්ෂිතව හැසිරෙන්නේ නැහැ.

සහකරුවා විශ්වාස නැත්නම් රෝග ගාණක් වැලඳීමේ අවදානමක් තියෙනවා. එච්අයිවී ගැන වැඩිපුර කතා වුණත් ක්ලැමීඩියා, ගොනෝරියා වගේ සමාජ රෝග ගණනාවක් සෙල්ලමට කරන ආදරය නිසා හැදෙන්න පුළුවන්. මේ වගේ ලෙඩක් හැඳුනොත් ඉතින් දරු හුරතල් බලලා ඉවරයි. මේ ලෙඩ, ගෑනු අයගේ ශ්‍රෝණි ආසාදන ඇති කරනවා. මඳසරු භාවයට හේතු වෙනවා.

ක්ලැමීඩියා, ගොනෝරියා දෙකෙන්ම පැලෝපීය නාලවලට, ගර්භාෂයට, ඒ ආශ්‍රිත පටකවලට ස්ථිර හානි වෙනවා. අන්තිමට ඉතින් කවදා හරි පිළිවෙළක් වුණත් දරුවන් නැතුව හූල්ලනවා. පිරිමියා කොණ්ඩම් පාවිච්චි කරනවා නම් 30% කින් අර වගේ මඳසරු බව ඇති කරන ලෙඩවලින් බේරිලා ඉන්න පුළුවන්.

නරක ඇසුර නිසා ශරීරගත වෙන්න පුළුවන් මානව පැපිලෝමා වෛරසයත්. ( එච්පීවී ) ගැබ්ගෙල පිළිකාවටත්, පිරිමින්ගේ ශිෂ්ණයේ ඇතිවන පිළිකාවටත් මානව පැපිලෝමා වෛරසය හේතු වෙනවා.“ “ ඒ ටික තේරුම් කළාට පස්සෙත් කඹේ ලිහා ගත්ත හරක්, එළදෙන්නු වගේ අයාලේ යනවා නම් මොනවා කරන්නද? එයාලා අනුන්ගේ ජීවිතේට තියා තමන්ගෙ ජීවිතේටවත් ආදරය නැහැ. “

*මෙවර ආදරවන්තයන් එච්අයිවී / සමාජ රෝග ගැන වගේම නව කොරෝනා වෛරසයේ අවදානම ගැනත් හිතන්න ඕන.

 

 

උපදෙස්

ජාතික ලිංගාශ්‍රිත රෝග / එච්අයිවී මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ