පිළිකාවෙන් වගේම කෝවිඩ්වලින් ද නිදහස් වෙමු

පෙබරවාරි 10, 2021

 

2020 වසරේදී අපේ රටෙන් අලුතින් වාර්තාවූ පිළිකා රෝගීන්ගේ ගණන 29, 604 ක්. පියයුරු පිළිකා රෝගීන් 3975 ක් ද මුඛ පිළිකා රෝගීන් 2820 ක් ද ගුද ආන්ත්‍රික පිළිකා රෝගීන් 2302 ක් ද පෙණහලු පිළිකා රෝගීන් 2072 ක් ද ගලනාල පිළිකා රෝගීන් 1939 ක් ද වාර්තා වී තිබෙනවා.

 

එතරම් සුලබ නැති යෝනි මඟ ආශ්‍රිත පිළිකා රෝගීන් 63 ක් පසුගිය වසරේ හමුවී තිබෙනවා. යෝනි මඟ ආශ්‍රිත පිළිකා වැඩිපුරම වැලඳෙන්නේ වයස්ගත කාන්තාවන්ට. වයස අවුරුදු හැටට වැඩි කාන්තාවන් අතර රෝගය වඩාත් සුලබයි. ආර්තවහරණයෙන් පසු හෝ කායික ඇසුරකින් පසු රුධිරය පිටවීම, දියරමය ශ්‍රාවයක් යෝනි මඟින් පිටවීම, ගැටිත්තක් / මස් වැදැල්ලක් යෝනි මඟ ආශ්‍රතව තිබීම, මුත්‍රා පිට කිරීමේදී වේදනාවක් දැනීම, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම , මල බද්ධය, ශ්‍රෝණි වේදනාව මෙවන් පිළිකාවක් ඇතිවිට පෙන්නුම් කරන ලකුණුයි. වයස්ගත වීම, එක් විශ්වාසවන්ත සහකරුවකු පමණක් ඇසුරු නො කිරීම, ළාබාල වයසේදී ම කායික ඇසුරට යොමුවීම, එච්අයිවී ආසාදනය වීම යෝනි මඟ ආශ්‍රිත පිළිකා අවදානම වැඩි කරනවා.

 

මුළු පිළිකා රෝගීන්ගෙන් 15,468ක් ම කාන්තාවන්. කාන්තාවන් අතර සුලබ ම පියයුරු පිළිකාවයි. ගැබ්ගෙල, තයිරොයිඩ්, ගුද ආන්ත්‍රික, ඩිම්බ කෝෂ පිළිකා පිළිවෙළින් දෙවැනි, තෙවැනි, සිව්වැනි ස්ථාන ගන්නවා. කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව (වුල්වා) ආශ්‍රිතව ද පිළිකා හට ගන්නවා. එවැනි රෝගීන් 53ක් පසුගිය වසරේ වාර්තා වී තිබෙනවා.

 

පෙබරවාරි 4 ශ්‍රී ලංකාවේ අප නිදහසේ හුස්ම ගත් දවසක්. ඒත් ඒ දවසම එක්තරා රෝගයකින් පීඩා විඳීන ජනතාවක්

රෝගයෙන් නිදහස් වීම වෙනුවෙන් සටන් කරන දිනයක්. ඒ රෝගය අද උණ සෙම්ප්‍රතිශ්‍යාව තරමටම සාමාන්‍ය වී ඇති පිළිකාවයි.

ලෝක පිළිකා දිනය යෙදී තිබුණේ පෙබරවාරි 4 වැනි දිනයටය. වෙනදා මෙන් නොව මෙවර පිළිකා දිනය සැමරුවේ වසංගතයක් මධ්‍යයේයි. එනම් රෝගයේ අභියෝගාත්මක බව දෙගුණ තෙගුණ වෙලා.

පිළිකාවක් කියන්නේ සිරුරේ එක් විශේෂ කොටසක සෛල පාලනයකින් තොරව වර්ධනය වීමයි.

මෙසේ වර්ධනය වන සෛල ඒ වටා ඇති නීරෝගි සෛල ආක්‍රමණයකර විනාශ කරනවා. අවයව ද පිළිකා සෛල නිසා විනාශ වෙනවා.

 

* පිළිකාවක් ඇති බවට සැකකළ හැකි රෝග ලකුණු

මල සමඟ රුධිරය පිට වීම, හේතුවක් සිතාගත නො හැකිව ඇතිවන ඩයරියා හෝ මල බද්ධය, මල පිටකළ පසු සම්පූර්ණයෙන් මල පිටවූ බවක් නො දැනීම, උදරයේ හෝ ගුද මඟ ඇතිවන වේදනාව, සති තුනකට වැඩි කාලයක් උදරයේ වාතය පිරුණු ස්වභාවයක් තිබීම, පියයුරුවල ගැටිත්තක් තිබීම, ප්‍රමාණය වේගයෙන් වෙනස්වන ගැටිත්තක් තිබීම, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, ආර්තවය අතර රුධිරය පිටවීම, කහින විට රුධිරය පිටවීම, වමනය සමඟ රුධිරය පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාව, හේතුවක් නැතුව පසු ගිය මාස කීපයේදී බර අඩු වීම පිළිකාවක ද රෝග ලකුණු වීමට පුළුවන්. ඒ නිසා එවන් ලකුණු ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

 

* පිළිකා ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපානවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ සිරුර බැක්ටීරියා, වෛරස ඇතුළු බාහිරින් ඇතුළුවන ජීවී ද්‍රව්‍යයන්ගෙන්, හානිකර රසායනවලින් ආරක්ෂා කරනවා.

වසා ගැටිති හා රුධිරය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක්. සමහර පිළිකා වර්ගවලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් සිදු වෙනවා. උදා - වසා ගැටිති ආශ්‍රිත පිළිකා, ලියුකීමියා

පිළිකා සඳහා කරන ඇතැම් ප්‍රතිකාර ද ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපානවා. ඇතැම්විට විකිරණ ප්‍රතිකාර බලපානවා.

එහෙත් ප්‍රතිකාර අවසන් වූ පසු ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථා තත්ත්වයට පත් වෙනවා.

 

* පිළිකාව, කෝවිඩ් - 19 වැලඳීමේ අවදානම වැඩි කරනවාද?

විශේෂයෙන්ම කිමෝතෙරපි ප්‍රතිකර්මය ලබන්නන්, ප්‍රතිදේහ ප්‍රතිකර්මය ලබන්නන්, පෙණහලු පිළිකාවට විකිරණ ප්‍රතිකාර ලබන්නන්, මාස හයකට පෙර ඇටමිදුළු බද්ධ කරන්නන්, ඇට මිදුළු හෝ රුධිරය ආශ්‍රිත පිළිකාවලට ප්‍රතිකාර ලබා ගන්නන් අවදානම වැඩි පිරිසයි.

* පිළිකා රෝගියකු කොරෝනා වැලඳී ඇති බව දැන ගන්නේ කෙසේද?

අලුතින් දිගින් දිගට පවතින කැස්සක්, අධික උණක්, ගඳ, සුවඳ, රස දැනීමේ වෙනසක් ඇත්නම් වහාම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට, වෛද්‍යවරයාට දැනුම් දෙන්න.

පිළිකා සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය රෝගය වැලඳීමේ වැඩි ඉඩක් පවතින පිරිස බව චීනය මඟින් කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

 

 

ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය

විශේෂඥ වෛද්‍ය

සුරාජ් පෙරේරා