සැමියා තේරුම් ගතයුතු ගැබිනි වියේ රහස් කතා

පෙබරවාරි 17, 2021

 

“මං අම්මා කෙනෙක් වෙන්න යනවා.

මේ සුබ ආරංචිය මුලින්ම දන්නෙ පවුලේ සමීපතම සාමාජිකයන් පමණයි. සුබ පුවතක වටිනාකම වැඩි වෙන්නේ රහස්‍ය බවකුත් එක්වුණු විටයි. ගැබිනි වියටම ආවේණික රහස් ගණනාවක්ම තියෙනවා. සමහර ඒවා දරුවා බිහි කළ පසුවත් රහසක්වම පවතිනවා. ඒත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නවා නම් රහස් සියල්ල දැන ගත යුතුයි. ඒක අම්මගෙ වගේම බබාගේත් සුව සම්පතට හිතකරයි.

දරුවා කියන්නේ සැමියකුගේත් බිරියකගේත් ආදරයේ සජීවී සාක්ෂියයි. සිතින් වගේම ගතින් ද සෙනෙහසින් බැඳුණු විට සොබා දමෙන් ලැබෙන මේ තිළිණය උරුම වූ පසු මව්පිය පදවි ලබන්නට සිටින යුවළක් අතර කිසිදු රහසක් තිබිය යුතු නැහැ.

දෙන්නා අතරට එක්වන තුන් වැනියා නිසා ගතින් තිබුණු බැඳීමෙන් ඈත් විය යුතුද ? මෙය ප්‍රසිද්ධියේ කතා බහ නො කරන්නක්.

වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව කායික ඇසුරක් නො පවත්වන ලෙසට උපදෙස් දුන්නොත් පමණක් ගතින් තිබෙන බැඳීිමට ගැබ් කාලයේදී මඳ විරාමයක් තැබීමට සිදු වෙනවා. එසේ නැත්නම් සුපුරුදු පරිදි කායික සබඳතා පැවැත් වීමට පුළුවන්. එයින් කුසෙහි වැඩෙන දරුවාට හානියක් වන්නේ නැහැ. කොහොම වුණත් ගැබිනි වියේ කායික හැසිරීම් රටාව සුපුරුදු පරිදි පවත්වා ගෙන යාමට නොහැකි නම් ඒ ගැන දෙන්නා විවෘතව කතා බහ කළ යුතුයි. ගර්භණී වියේදී සිරුරේ ඇතිවන වෙනස්කම් නිසා වෙනදාට වැඩි වෙනසක් මවකට දැනෙන්න පුළුවන්. සමහර ජෝඩු මේ ක්‍රියාවලියෙන් සතුටක් ලැබුවත් තවත් යුවළකට මේ කාලයේදී සම්බඳතා නො පැවැත්වීම යහපත් යැයි සිතෙන්නට පුළුවන්. එවිට ආදරය බෙදා හදා ගන්න වෙනස් ක්‍රම යොදා ගන්න වෙනවා. මෙය හොඳ අවබෝධයකින් කළ යුතුයි. එකිනෙකාගේ හැඟීම් බෙදා ගැනීම මේ කාලයේදී ඉතා වැදගත්.

නීරෝගි ගැබිනි වියක් පවත්වා ගෙන යනවා නම් සංකූලතා නැත්නම් ආදරය උපරිමව කායිකව වින්දා කියා ගබ්සා වන්නේ නැහැ. නියමිත මාස ගණනට කලින් ප්‍රසූතාගාරයට යන්න වෙන්නෙත් නැහැ.

ගැබිනි වියේ අවසන් කාලයේ කායික ඇසුරු කිරීම්වලින් සුළු හැකිළීම් ඇති වී ගර්භාෂයේ මාංසපේශිවල තද ගතියක් දැනෙන්න ඉඩ තියෙනවා. එයින් අපහසුතාවක් දැනුණත් එය සාමාන්‍ය තත්ත්වයක්. මඳක් විවේකයෙන් සිටීමෙන් අපහසුතාව දුරු වෙනවා.

එහෙත් ගතේ ආදරයෙන් (කායික එක්වීම් වලින්) දුරස් විය යුතු මව්වරුන් පිරිසක් ද සිටිනවා. ඒ අය නම්,

* ගැබිනි වියේ දී කවර අවස්ථාවක හෝ අධික ලෙස රුධිරය පිටවී ඇත්නම් - මෙවිට රුධිරය වහනය වැඩි වෙනවා.

* වතුර බෑගය කැඩුණා නම් - එවිට ආසාදනයක් ඇති වීමේ අවදානම ඉහළ යනවා.

* ගැබ්ගෙලේ ගැටලුවක් ඇත්නම් - ගබ්සා වීමේ, නියමිත කාලයට පෙර දරුවා බිහි වීමේ ඉඩ වැඩි වෙනවා.

* නිවුන්නු ලැබෙන්න සිටිනවා නම්

*කලින් වර නියමිත මාස ගණනට පෙර දරුවා බිහි කළා නම්

* ගැබිනි වියේ අවසන් අදියරේ පසු වෙනවා නම් (අවසන් මාසවල)

සහකරු පූර්ණ විශ්වාසවන්තයෙක් විය යුතුයි. කාන්තාවන් කිහිප දෙනකුම ඇසුරු කරනවා නම් අම්මාට වගේම බබාටත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ ඇති වෙන්න පුළුවන්.

මොන ඉරියව්වද හොඳ? මෙය අතිශයින්ම පෞද්ගලිකයි.

ඒ වුණත් ගැබිනි වියේදී පරණ පුරුදු ඉරියව්වලට ආයුබෝවන් කීමට විය හැකියි. මේ කාලයට වඩාත් සුදුසු එක් ඇළයකට සිදු කරන ඇසුරු කිරීම්ය. මේ කාලයේදී මවගේ පියයුරු ඉතා සංවේදී නිසාත් උදරය ඉදිරියට නෙරා ඇවිත් ඇති නිසාත් වෙනත් ඉරියව්වලින් අපහසුතා ඇති වන්න පුළුවන්.

 

 

උපදෙස් - නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය

විජිත් විද්‍යාභූෂණ

************************

 

 

ගමන් බිමන් යාමේදී පරෙස්සම් වන්න

 

දැන් නම් කෝවිඩ් - 19 නිසා සායනයට යාම වාගේ අත්‍යාවශ්‍ය  දේකට යනු විනා නිවෙසටම වී සිටීම නුවණට හුරුයි. කෝවිඩ් නැතත් ගැබිනි මවුවරු ගමන් බිමන් යාමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් තියෙනවා.

සමහර අම්මලාට ගැබිනි වියේ මුල් සති 12 ඇවිදීම අසීරුයි. වමනය, ඔක්කාරය, කරකැවිල්ල වගේ නොයෙකුත් අපහසුතා ඇති නිසා නිවෙසටම වී සිටින්නයි කැමැති. ඒ වගේම මුල් තුන් මාසයේදී ගබ්සා වීමේ ඉඩ වැඩියි.

ගැබිනි වියේ අවසන් මාස තුනේ අපහසුතා, වෙහෙස වැඩියි. මවකට ගමන් යන්න හොඳම කාලය ගැබිනි වියේ මාස 4 - 6 මාසවලයි.

ගුවන් යානයකින් යාම කිසිසේත්ම මවට හෝ දරුවාට හානිකර නැහැ. එහෙත් එසේ යාම ගැටලුවක් විය හැකි අවස්ථා ද තිබෙනවා. සති 37 න් පසු කුමන වෙලාවක හෝ ප්‍රසූතියට යාමේ අවදානමක් පවතිනවා. නිවුන්නු ලැබෙන්න සිටිනවා නම් සති 32 සිට මේ අවදානම පවතිනවා. සමහර ගුවන් සේවා මඟින් මවගේ වෛද්‍යවරයාගෙන් ප්‍රසූතියට නියමිත දිනය ගැන සහ සංකුලතා නැති බවට සහතිකයක් ලබා ගන්නවා. පැය හතරකට වඩා දුර සංචාරය කරනවා නම් දෙපාවල රුධිර කැටි ඇති වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා හොඳීන් ජලය පානය කළ යුතුයි. මිනිත්තු 30 කට වරක් ක්‍රියාකාරී විය යුතුයි. දෙපා ඉදිමීම වළක්වා ගැනීමට ඔසු හලකින් දිගු මේස් ගෙන පැලඳීය යුතුයි.

මෝටර් රථයෙන් යනවා නම් දිගු දුරක් යා යුතු ගමන්වලින් හැකි තරම් වැළකී සිටින්න. එසේ යනවා නම් තැනින් තැන නවත්වා ටික දුරක් ඇවිදින්න. මෝටර් රථයේ අසුන් ගෙන යන වි‍ට දෙපා කැරකවීම වැනි ව්‍යායාමයක යෙදෙන්න. දිගු මේස් පැලඳ වාඩිවී යාමෙන් දෙපා ඉදිමීම, දෙපාවල රුධිර කැටි ඇති වීම වළක්වා ගන්න පුළුවන්.