ලූනු කපා එළියේ තැබූ විට විස වන බව දන්නවාද?

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
පෙබරවාරි 24, 2021

 

 

නිරෝගී බව උතුම් ම ධනය බව පැවසූ බුදුන් වහන්සේගේ වදන් හි සත්‍යය මේ වන විට මුළු ලෝකයට ම වැටහී තිබේ. අප සතුව ඇති දෙයෙහි අගය අන් කවරදාටත් වඩා අපේ ඇත්තන්ට ද වැටහෙමින් පවතී.

කොත්තමල්ලි, කහ, ඉඟුරු, පෙරුම්කායම් ආදිය සඳහා මෑත ඉතිහාසයේ නොතිබූ පරිදි ඉල්ලුමක් ඇති වූයේ එබැවිනි. දේශීය රසකාරක ස්වභාවික ද්‍රව්‍යවලින් සැකසුන ඒවාය.

මේවා ආහාරයට එක් කිරීමෙන් රස පමණක් නොවේ, ආහාරයේ ඇති පෝෂ්‍ය ගුණය ද වර්ධනය වේ.

ඒ මේ බොහොමයක් රස කාරක ඖෂධ ලෙසින්ද හෙළ වෙදකමේ දී භාවිත කරන බැවිනි.

ආහාර සඳහා අප යොදන රස කාරක 42 කි. ඉන් කිහිපයක් ගැන මේ වන විට අපි ඔබ දැනුවත් කළෙමු. අද තවත් රසකාරක කිහිපයක ඇති වැදගත්කම ගැන වැඩි දුරටත් කරුණු දැන ගනිමු.

ලූනු

ඇතැම් රස කාරක වර්ග භාවිතයේ දී අප ඉතාමත් ප්‍රවේසම් වීම වැදගත් වේ. එවැනි එක් රස කාරක වර්ගයක් ලෙස ලූනු හැඳීන්විය හැකියි.

කිසිම විටෙක ලූනු කැපීමෙන් පසුව නැවත භාවිතයට නොගත යුතුය. ලූනු කැපීමෙන් හෝ සුද්ධකර තැබීමෙන් පසුව වාතයට නිරාවරණය වන සේ නොතැබිය යුතුය. කැපූ ලූනු වාතයට නිරාවරණයකර තැබීමෙන් විස වේ. මේ සඳහා ඔබට කුඩා පරීක්ෂණයක් සිදු කළ හැකියි. ලූනු ගෙඩියක් සුද්ධකර කපා පැය කිහිපයක් වාතයට නිරාවරණය වන සේ තබන්න. පසුව මේ ලූනු ගෙඩියේ පැහැය හා සුවඳ නිරීක්ෂණය කරන්න.

එහි පැහැය හා සුවඳ වෙනස් වී ඇති බව ඔබට පෙනේවි. ලූනුවලට පිටත ඇති විසබීජ උරා ගැනීමේ හැකියාවක් පෙන්නුම් කිරීම මේ තත්ත්වයට හේතු වේ.

සලාද සෑදීමේ දී ලූනු යොදා ගන්නවා නම් ඒවා ආහාර ගන්නා වේලාවට ම සකසා ගැනීමත් සකසා බොහෝ වේලාවක් නොතැබීමත් වැදගත් වන්නේ මේ නිසයි.

රතු ලූනුවල සෙම බුරුල්කර බැහැර කරන ගුණයක් පවතී.

මේ නිසා සෙම්රෝගවලට රතු ලූනු වඩාත් ගුණදායක වේ. පිත බැහැර කරන ගුණයක් ද ලූනු සතුව ඇත. වාතය නසයි. කැස්ස, ඇදුම යන ශ්වාසනාල අවහිරතාවල දී ඉතා ගුණ ගෙන දෙන ආහාරයකි. ආහාර රුචිය වර්ධනය කරයි. සිරුරේ විස නසන ගුණයක් ද ලූනුවල ඇත.

සෑම ව්‍යංජනයක් ම සකසන විට ලූනු ස්වල්පයක් දැමීම මඟින් එහි රසයත් ගුණයත් යන දෙකම වර්ධනය වේ.

සුදු ලූනු

ට්චපතඪජ ලෙස ඉංග්‍රීසි බසින් හැඳන්වේ. සුදු ලූනු සුද්ධ කරගත් පසුව එය පලා බැලීමේ දී ඇතුළත කුඩා ගොබයක් පවතින බව ඔබට පෙනේවි. එය ඉවත් කිරීම වඩාත් සුදුසු වන්නේ එහි සැර ස්වභාවක් පවතින බැවිනි.

 

මෙය වාත රෝග, උදර රෝග, සෙම් රෝග සඳහා ගුණදායක ආහාරයකි. ගර්භාෂයට මෙන්ම හෘදයට ද හිතකරය. එමෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක් ද සුදු ලූනු සතු ය. අමුවෙන් ආහාරයට එක්කර ගන්නේ නම් අනිවාර්යයෙන් ම ලූනු බික්වල මැද ඇති ගොබය කොටස ඉවත් කරන්න.

බොහෝ එළවළු වර්ග පිසීමේ දී සුදු ලූනු යොදා ගනී. ඉන් ව්‍යංජනයේ පෝෂ්‍ය ගුණය කිහිප ගුණයකින් වැඩි වේ.

 

හදිසියකට ගතහැකි සියඹලා බීමක්

Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳීන්වෙන සියඹලා පලතුරක් ලෙසින් ද ගත හැකි රස කාරකයකි.

සියඹලා 'කෝකටත් තෛලය' ලෙසින් අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී පවසන ආකාරයෙන් භාවිත කළ හැකි රස කාරකයකි. නිවෙසේ ඔසු කුටියට බොහෝ ප්‍රයෝජනවත් වන රස කාරකයක් ලෙසින් ද සියඹලා හැඳීන්විය හැකියි.

සියඹලා වැඩි ප්‍රමාණයක් (කිලෝ එකක් දෙකක් පමණ) ගෙන එහි මදය බඳුනකට දමන්න.

දැන් වතුර දමමින් එය අතින් පොඩි කරමින් එහි ඇට ඉවත් කරන්න. දැන්, සියඹලා යුෂ බඳුනකට දමා ළිපේ තබන්න. උතුරන විට ගින්දර අඩුකර මෙය හිඳෙන්නට තබන්න.

මෙහිදී පෙණ ස්වභාවක් උඩින් ඇතිවේ. එම පෙණ ඉවත් කරන්න. තරමක් හින්දා ගත් පසුව ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න. මෙයට ලුණු ස්වල්පයක් ද එකතු කරන්න. දැන් සෝදා ජලය නොසිටින සේ වියළා ගත් බෝතල්වල මෙම සියඹලා යුෂ දමා ශිතකරණයේ තබන්න.

අමුත්තෙක් නිවෙසට පැමිණි විටෙක මෙම සියඹලා යුෂ පල්පයෙන් ස්වල්පයක් දමා සීනි ස්වල්පයක් ද එකතුකර වතුර හා අවශ්‍ය නම් අයිස් කැට දමා පිළි ගැන්වීමට හැකිය. මෙය පලතුරු බීමක් ලෙසින් ද ඔබට යොදා ගත හැකියි.

එමෙන්ම මෙම සියඹලා යුෂ ළිපේ තබා සීනි ද එකතුකර උකු මිශ්‍රණයක් වන තෙක් උයා තැටියකට හෝ පිඟානකට වත් කරන්න. මෙය සිසිල් වීමට තැබීමේ දී ඝන වේ. එම නිසා මඳ උණුසුම ඇති විට දීම කැබැලිවලට කපා සියඹලා ටොෆි සකසා ගත හැකියි.

සියඹලාවල ආහාර රුචිය වර්ධනය කරන ගුණයක් ඇත. බඩේ අජීර්ණයටත්, මලබද්ධය ඇති විටත් සහනයක් සලසා දීමට සියඹලා සමත් වේ. එමෙන්ම මෙය ඉවුම් පිහුම්වල දී අම්ලකාරකයක් ලෙසින් යොදා ගනී. සීනිසම්බෝල වැනි ආහාර සඳහා එහි නියම රසය ලබා ගැනීමට සියඹලා යෙදීම අවශ්‍ය ය.

 

 

ඡායා -ශාන් රූපස්සර