හතිය දුරු කරන ගරුඬාසන

ජුනි 2, 2021

 

කෝවිඩ් බෝවීම වැළැක්වීම සඳහා පනවා ඇති සංචරණ සීමා කාලයේ නිවෙසටම හෝ කාමරයකටම වී හෝ සිටීම හරිම අපහසු දෙයක්. ව්‍යායාමයක නිරත වන්නයැයි වෛද්‍ය වරු නිතරම උපදෙස් දෙන්නේ මේ නිසාමයි.

යෝගා අභ්‍යාසයක නිරත වීම මෙයට ඇති හොඳම පිළියමයි. අදත් අප ඔබට ඉදිරිපත් කරන්නේ මේ කාලයේ වඩාත් වැදගත් යෝගා ඉරියව්වක්. ගරුඬාසන යෝගා ඉරියව්ව මේ කාලයේදී ඉතා වැදගත්. ඒ ඇදුම වැනි ස්වසනාබාධවලට සහනයක් ගෙන දෙන ගුණයක් මෙහි ඇති නිසයි.

මෙයින් සිරුරේ සමබරතාව සුරැකෙනවා. තුනටියේ වේදනාවටත් මෙය චිකිත්සාවක්. වළලුකර, මස් පිඬු, දණහිස් සවිමත් වෙනවා.

සිත එකඟ කිරීමේ හැකියාව වැඩි දියුණු වෙනවා.

එවාගේම ජීර්ණ පද්ධතිය නිරෝගීමත් වෙනවා.

ගරුඬාසනයේ යෙදෙන්නාට නම්‍යශීලී සිරුරක් තිබිය යුතුයි.

 

පියවර

දෙපා ළංව තබා ගෙන කෙලින් සිට ගන්න.

(තඩාසන ඉරියව්වෙන් සිටින්න. )

දෑත් ඉදිරියට දිගු කරන්න.

කොන්ද ඍජුව තබා ගෙන මඳක් පහළට සිරුරේ උඩ කොටස පහළට ගෙනෙන්න.

දකුණු පාදය නවා වම් පාදය වෙත ගෙනයන්න. දකුණු පාදය වම් පාදයේ එතෙනවාක් මෙන් තබා ගන්න.

වම් අත දකුණු අත කරා ගෙනවිත් පටලවා ගෙන දෙඅත්ල ගෑවෙන සේ තබා ගන්න.

පටලවා ගත් දැත් ලිහිල් කර මුලින් සිටියාක් මෙන් ඉදිරියට දිගු කරන්න.

වම් පාදයේ දැවටී තිබුණු දකුණු පාදය ගලවා පහළට ගත් කොන්ද කෙළින් කර නැවත ඍජුව සිට ගන්න.

අනෙක් පැත්තට ද එසේ කරන්න. එක් ඉරියව්වක තත්පර 15 - 30 ක් සිටින්න.

 

ප්‍රවීණ යෝගා උපදේශක
මෝහන හා
මනෝ චිකිත්සක ආචාර්ය
චාමින් වර්ණකුල