කියන්න බැරි දේ ලියන්න

අගෝස්තු 11, 2021

 

දුක් කම්කටොලු පිරි මේ සමාජයේ, ඔබට, ඔබගේ මවට, පියාට, සහෝදරියට කියාගත නොහැකි බොහොමයක් ගැටලු තිබිය හැකියි. ඒ ගැටලු නිසා ඔබ සිතින් අනේකවාරයක් පීඩා විඳිනවාත් ඇති. විසඳුමක් පේන තෙක් මානයකවත් නැති ඒ ගැටලුවලට පිළිතුරු ලබා දෙන්න ඔබගේ ළඟම මිතුරිය තරුණී සූදානම්. ඔබේ ගැටලු අප වෙත යොමු කරන්න.

 

'කියන්න බැරි දේ ලියන්න'

තරුණී, ලේක්හවුස්

කොළඹ - 10

ලිංගාශ්‍රිත රෝගයක්

ප්‍රශ්නය

මට වයස අවුරුදු 35 යි. විවාහ වී වසරක් පමණ වේ. අප දෙදෙනාම වෙනත් අය සමග ලිංගික සබඳතා පවත්වා නැත. මා හට Vestibular Papillomatosis නම්  රෝගී තත්ත්වය හටගෙන ඇති බව දැන ගන්න ලැබුණා. එයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය ද? එමඟින් ගර්භණී වීමේදී ගැටලු ඇතිවේද ? එය ඉබේ සුව වන්නේ නැතිද ? එය ක්‍රමයෙන් වැඩි වන රෝගයක්ද ?  මෙම  රෝගය සඳහා ලංකාවේ පවතින ප්‍රතිකාර මොනවද ?

මීගමුව - හර්ෂණී

 

පිළිතුරු

මෙය  vestibular papillamatosis   තත්ත්වයක් ද නැතහොත් එය වෙනත් ආකාරයක මානව පැපිලෝමා වෛරසය (HPV) නිසා ඇති වූ තත්ත්වයක් ද යන්න නිශ්චිතව පැවසූයේ වෛද්‍යවරයකු විසින් නම් එහි ගැටලුවක් නැත.

එසේ නොමැති නම්   එය ඔබට පිටතින් බලා තීරණය කළ නොහැකි නිසා ඔබ කළ යුත්තේ වෛද්‍යවරයකු හමුවී පෙන්වා එම රෝගය කුමක්දැයි නිවැරැදිව හඳුනා ගැනීමයි.

මෙය මිනිසකුගෙන් මිනිසකුට බෝවිය හැකි වෛරසයකි. මෙම වෛරසය මානව සිරුර තුල විවිධ රෝග ලක්ෂණ ඇතිවීමට හේතු වේ. වෛරසය අාසාදනය වූ විට සිරුරේ ඉන්නන් තුවාල ආදිය ඇතිවීම වැනි සංකූලතා දක්නට ලැබේ. ඇතැම් තුවාල පිළිකා දක්වා වර්ධනය වේ. ගැබ්ගෙල, යෝනිය, ශිශ්නය, උගුර, ගුදය, මුඛය ආශ්‍රිත පිළිකා මේ අතර ප්‍රධානය. එමෙන්ම ලිංගික පෙදෙස්වල ඉන්නන් ඇති වීමට ද හේතුවක් වේ.

බොහෝවිට මෙම වෛරසය ප්‍රථම ලිංගික එක්වීමේදී ආසාදනය වේ. මීට අමතරව සමලිංගික වර්යා, ලිංගික සහකරුවන් කිහිප දෙනෙක් සමඟ සංසර්ගයේ යෙදීම, දුම්පානය හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති දුර්වලතා හේතුවෙන් ආසාදනය වේ. වෛරසය ඍජු ස්පර්ශය මගින් ද ආසාධනය වේ. ඇතැම්විට මවගෙන් දරුවාට ද බො වේ. 

බොහෝ විට ඔබට ඇත්තේ HPV තත්ත්වයක් නම් ඔබ බිය විය යුතු නැත. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් වෛද්‍යවරයකු හරහා ලබා ගත යුතුය.

පියයුරුවල ගැටලුවක් නිසා පීඩාවෙන්

ප්‍රශ්නය

මාගේ පියයුරුවල අඳුරු පැහැ ලප පවතියි. මාස කිහිපයක සිට එවැනි ලප පැවතියත් ඒවායින් කිසිඳු වේදනාවක් හෝ අපහසුතාවක් නොමැත. එහෙත් පියයුරු ඉතා තදින් මිරිකූ විට ශ්‍රාවයක් පැමිණෙයි. සාමාන්‍ය පරිදි මිරිකු විට එසේ නොවෙයි. ඔසප් දින ආසන්න වූ විට දී ද පියයුරුවල අධික වේදනාවක් පවතී. වෙනත් රෝග ලක්ෂණ නොමැත. මෙය බිය විය යුතු තත්ත්වයක් ද? නැතිනම් සාමාන්‍ය තත්වයක් ද? පිළිකාවක් ද?

මහර - සඳුනි

 

පිළිතුර

ඔබේ වයස සඳහන් කර නොමැති නිසා ඔබ තරුණියක් ද නැතිනම් මවක් ද කියා හඳුනාගත නොහැකියි. වයස සටහන්ව තිබුණේ නම් වඩා නිවැරැදිම පිළිතුර ලබා දීමට පහසුවක් වේවි. තනපුඩුව මිරිකීමෙන් පසු යම් දියරයක් පිටවීම ස්වාභාවික ය . ඕනෑම වයසක කාන්තාවන්ගේ තනපුඩුව මිරිකීමෙන් මෙවැනි  දියරයක්  පිටවීම සිදුවිය හැකියි.  නමුත්  තනපුඩුවේ   ඇති වි   ඇති   තත්ත්වය  යම්කිසි  දිලීර    ආසාදන තත්ත්වයක් වීමට  ඉඩ   ඇත .නමුත්   එය පරීක්ෂා කිරීමෙන්   තොරව   නිශ්චිතව කිව නොහැක . පිළිකා   තත්ත්වයක් ද කියා කීමට  නම්  අනිවාර්යයෙන්ම  

පරීක්ෂා කල යුතුය . ඒ  සඳහා  මේ සම්බන්ධයෙන්  දැන ගත  යුතු වෙනත්  තොරතුරු ද  ඇත . එමනිසා  ප්‍රථමයෙන් ඔබේ  පවුලේ   වෛද්‍යවරයා  ලවා  පරීක්ෂාකර   ගෙන  අවශ්‍ය  ප්‍රතිකාර    සඳහා   යොමු වන්න .  පෙනෙන  ආකාරයට  නම්  බිය  විය  යුතු  නැති වුවද පියයුරු සමෙහි  ආසාදනයක්  ඇති නිසා   ප්‍රතිකාර ගැනීම   උචිතය . 

 

තවම දරුවන් නැත්තේ ඇයි?

 

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මා වයස අවුරුදු 28ක යුවතියක්. මගේ ඩිම්බකෝෂයක ගැටලුවක් මතුවීම නිසා දැනට අවුරුදු 04කට පෙර එම ඩිම්බකෝෂය ඉවත් කරනු ලැබුවා. දරුවන් ලැබීමට බාධා ඇතිවිය හැකි නිසා ඉක්මනින් විවාහ වී දරුවන් සාදා ගන්නා ලෙස වෛද්‍යවරු මා හට පැවසුවා. මා විවාහ වී දැනට අවුරුදු 02ක්. නමුත් මා හට තවම දරුවන් නොමැත. දරුවෙක් පිළිසිඳ ගැනීමට හැකියාවක් නොමැති ද?

කුරුණෑගල - අයේෂා

 

පිළිතුර

ඔබට දරුවකු පිළිසිඳ ගැනීමට හැකියාවක් තිබෙනවා. එක් ඩිම්බකෝෂයක් ඉවත් කළත් අනෙක් ඩිම්බකෝෂය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බැවින් ඩිම්බකෝෂ දෙකම තිබෙන කාන්තාවන් සේම දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්ථාව තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ මාසයක් හැර මාසයක් ඩිම්බ කෝෂ දෙකෙන් ඩිම්බ පිටවීමයි. නමුත් එක් ඩිම්බ කෝෂයක් ඉවත් කළ පසු පවතින ඩිම්බ කෝෂයෙන් සෑම මාසයකම ඩිම්බයක් මෝචනය වීම සිදු වේ. දරුවෙක් පිළිසිඳ ගැනීම ප්‍රමාදව තිබේ නම් පළමුව එයට හේතුව සොයා ගැනීම වැදගත්. පැලෝපිය නාලයේ අවහිරතා ත් හේතුවක් විය හැකියි.