වෛද්‍යවරයකු ළඟට වත් යන්න බැරි මේ කාලයේ දත් කැක්කුමක් හැදුණොත්

සැප්තැම්බර් 15, 2021

 

අපි දෙහි ගෙඩියක් කෙලින්ම කටේ තබා ගත්තොත් ඇඟ හිරිවැටී යනවා. නමුත් එයම දත් කැක්කුම අවම කර ගැනීමටත් යොදා ගන්නට හැකියි.

කරාබු නැටි තෙල් ස්වල්පයක් පුළුන් කැබැල්ලක තවරා වේදනාව දැනෙන දත්වල ආලේප කරන්න. මඳ වේලාවකින් හිරිවැටීමක් ඔබට දැනේවි.

 

දත් කැක්කුමක් සෑදුණු විට දැනෙන වේදනාව වචනවලින් විස්තර කරන්නත් බැරි තරම් අපහසු කාරණයක් බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන් මේ කෝවිඩ් වසංගතය අවස්ථාවේ නිරෝධායන ඇඳිරි නීතියක් තියෙන වෙලාවේ හදිසියේ හෝ දත් කැක්කුමක් හැදුණොත් දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්නත් බැහැ. පුංචි දරුවකුට දත් කැක්කුමක් හැදුණොත් අම්මා කෙනෙක් විදිහට ඔබ මොන තරම් නම් අසරණ වෙන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි පවුලේ වැඩිහිටි සාමාජිකයකුට වුණත් දත් කැක්කුමක් හැදුණොත් මොකද කරන්නේ. අපේ ආච්චිලා ඒ කියන්නේ ඉස්සර අම්මලා නම් දත් කැක්කුමට විතරක් නෙවෙයි පවුලේ කෙනකුට හැදෙන සුළු සුළු ලෙඩ වලට අත් බෙහෙත් දැනගෙන හිටියා. අම්මා කෙනෙක්, ගෘහණියක් විදිහට ඔබත් ඒ වගේ අත්බෙහෙත් වර්ග දැනගෙන ඉන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?

 

දත් කැක්කුමක් ඇතිවීමට හේතු වන ප්‍රධාන කරුණු කීපයක්ම තියෙනවා. දත්වල මැලියම් බැඳී ඒ මැලියම් මඟින් නිපදවන ඇසිඩ් වර්ග හේතුවෙන් දත් මතුපිට සිදුරු ඇති වෙනවා. එමඟින් දත් දිරාපත් වීමත් සමඟ සිදුරු විශාල වී දත් කැක්කුමක් හට ගන්නවා. අන්න ඒ වගේ කරදරකාරී දත් කැක්කුමට තිත තබා ගත හැකි ස්වභාවික සත්කාර ගැනයි අද අපි ඔබට කියන්නේ.

• වැනිලා සාරය යොදා ගනිමින් වැනිලා සාර ප්‍රතිකාරය දත් කැක්කුමට

ඉක්මන් ප්‍රතිකාරයකි. මේ සඳහා මුලින්ම කළ යුත්තේ පුළුන් කැබැල්ලක වැනිලා ස්වල්පයක් තවරා වේදනා සහිත ස්ථානයේ ආලේප කර තැබීමයි.

 

• ගම්මිරිස් සහ ලුණු

ගම්මිරිස් සහ ලුණු කියන්නේ බැක්ටීරියා ප්‍රතිවිරෝධී සංයෝගයක් වනවා. ගම්මිරිස් සහ ලුණු එකට කලවම් කර වතුර බිංදු කීපයක් එකතු කර වේදනාකාරී ස්ථානයේ ආලේප කර මිනිත්තු 3ක් පමණ තිබෙන්නට හරින්න.

 

• පෙපර්මිට් තේ බෑග්

මෙමඟින් දත් හිරිවැටීම සහ වේදනාව සුව කිරීමේ ගුණය පවතී. මේ සඳහා කළ යුතු වන්නේ ශීතකරණයේ තබා ගත් තේ බෑගයක් ආසාදිත දත මත තැබීම හෝ තේ බෑගය කඩා එහි ඇති ද්‍රව්‍ය ආසාදිත දත මත තබා ආලේප කිරීමයි.

 

• කරාබු නැටි තෙල්

කරාබු නැටිවල ඊජිනෝල් නම් නිර්වින්දක ගුණය අඩංගු වෙනවා. කරාබු නැටි තෙල් ස්වල්පයක් පුළුන් කැබැල්ලක තවරා වේදනාව දැනෙන දත්වල ආලේප කරන්න. මඳ වේලාවකින් හිරිවැටීමක් ඔබට දැනේවි. මේ තෙල් කටේ සංවේදී ස්ථාන (තොල මත) හා දිව මත ආලේප කිරීමෙන් වලකින්න. එමඟින් ඔබට වේදනාවක් ඇති වන්නට පුළුවන්.

 

• සුදු ලූනු

බලවත් ප්‍රතිජීවක ගුණයක් ඇති සුදු ලූනු දත්වලට හානිකරන බැක්ටීරියා වලකන්න කදිම ඔසුවකි. සුදු ලුනු ගෙඩියක් පොඩිකර එයට දිය ලුණු මිශ්‍ර කරන්න. වේදනාකාරි දත මත ආලේප කරන්න. ඉන්පසු ඔබේ කට සෝදා පාස්ලි කොළ දෙක තුනක් හපන්න.

 

• අයිස් කැට

ශරීරයේ අනෙක් තැන්වල තැලීම් පොඩිවීම් වලට අපි අයිස් කැට තියනවා. ඒ වගේම තමයි දත් කැක්කුමටත් මේ අයිස් කැට භාවිත කරන්න පුළුවන්. ඉක්මන් සහ පහසුම ප්‍රතිකාරයකි මෙය. මේ සඳහා දත්වල විදුරුමස් ආසන්නයේ කුඩා අයිස් කැට කීපයක් තබන්න. මෙහිදී අයිස් කැට කෙලින්ම දත මත නොතබන්න වග බලා ගන්න. වේදනාව ඇතිකරන ස්නායුව විදුරුමස හරහා යන බැවින් එහි අයිස් තබා ගැනීමෙන් සංවේදනය වඩාත් පහසුවෙන් අවහිර කරන්නට හැකියි.

 

• දෙහි

දෙහි කියන්නෙ අපි ආහාර රසවත් කරගන්න, ඇඹුල් ගතිය ඇති කරගන්න බහුලව යොදා ගන්න දෙයක්. විශේෂයෙන්ම සියඹලා, ගොරකා, විනාකිරි වලට පසුව ඇඹුල් ගතිය ඇති කරගන්න වැඩිපුරම යොදා ගන්නේ මේ දෙහි. සාමාන්‍යයෙන් අපි දෙහි ගෙඩියක් කෙලින්ම කටේ තබා ගත්තොත් ඇඟ හිරිවැටී යනවා. නමුත් එයම දත් කැක්කුම අවම කර ගැනීමටත් යොදා ගන්නට හැකියි. පැඟිරි කුලේ ශාකයක් වන දෙහිවල බහුලව ඇති සිට්ට්‍රික් අම්ලය සහ විටමින් C ප්‍රබල ප්‍රතිඔක්සිකාරක දෙකකි. මේ දෙක තුළම දත් ආශ්‍රිත ඉදිමුම සමනය කළ හැකි ගුණ පවතී. විශේෂයෙන් දත්වල කුහරවල ඇති වේදනාවට සහනය ලබා දේ. මිරිකා ගත් දෙහි යුෂ පුළුන් කැබැල්ලකින් දත මත ආලේප කරන්න. එමඟින් වේදනාව සමනය වේ.

 

• ඉඟුරු

තේ එකට අපූරු රසයක් සහ සුවඳක් ගෙනෙන ඉඟුරු අපූරු ඔසුවකි. ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලුවලට විසඳුමක් ගෙන එන්නටත් මේ ඉඟුරුවල අපූරු ගුණයක් පවතී. කොහොම නමුත් මේ ඉඟුරු මඟින් දත් කැක්කුමට සහනයක් ලබා දෙයි. සිහින්ව කපා ගත් ඉඟුරු කැබැල්ලක් වේදනාකාරී දත මත මිනිත්තු කීපයක් අතුල්ලන්න. ඉක්මන් සහනයක් ලැබේවි.

 

• ලුණු වතුර

කටේ තියෙන ගැටලුවලට බොහෝ විසඳුම් ලුණුවතුර මඟින් ලබා දේ. උෂ්ණ බිබිලි, කැස්ස, උගුර කැසීම, කිවිසුම් යාම, සෙම් ගෙඩි සඳහා මනා සහනයක් ලබා දෙයි. ලුණු වතුරෙන් කට සේදීමෙන් දත් කැක්කුමට ක්ෂණික සහනයක් ලැබේ. මෙය ස්වභාවික විසබීජ නාශකයකි. දත් අතර සිටවී ඇති ආහාර කැබැලි ඉවත් කරන්නට ලුණු වතුරවලට හැකියි. ජීවිතයේ එක පාරක් හරි දත් කැක්කුමක් හැදිලා තියෙන කෙනෙක් දන්නවා ඒ වේදනාවේ තරම. ඉතිං මේ කොරෝනා වසංගතය හමුවේ දත් කැක්කුමක් හැදුණොත් වෛද්‍ය උපදෙස් පතන්නට වෛද්‍ය මධ්‍යස්ථානයකට යන්න කාටවත් හැකියාවක් නැහැනෙ. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට මේ ස්වභාවික සත්කාර පෙළ මසුරන් වටීවි.

 

 

 උපදෙස්

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

හෙන්රි රණසිංහ