මියු කොයි වගේද?

සැප්තැම්බර් 15, 2021

 

 කුමන ප්‍රභේදය අනාගතයේ අපව ආක්‍රමණය කළත් නියමිත කෝවිඩ් එන්නත් මාත්‍රා කලට වේලාවට ලබා ගනිමින් නිවැරැදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අප ජීවත් විය යුතුයි.

 

විවිධ නම්වලින් වෙනස් ප්‍රභේදවලින් නව කොරෝනා වෛරසය ලොවපුරා පැතිරෙනවා. ශ්‍රී ලාංකේය අප දැන් බැට කන්නේ සුපිරි ඩෙල්ටා වෛරසයෙන්. එහෙත් ඊටත් වඩා භයානක ප්‍ර‍භේදයක් ගැන දැන් ලොවම කතා වෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ මියු (Mu) ප්‍රභේදය ගැන දැන්ම වැඩි දෙයක් පැවසිය නො හැකි බවයි.

මේ වසරේ ජනවාරියේදී කොළොම්බියාවෙන් සොයා ගන්නා ලද මේ කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 39 න් වාර්තා වී තිබෙනවා.

නව ප්‍රභේදය භයානක වන්නේ එය කෝවිඩ් එන්නත්වලින් සිරුරට ලැබෙන ප්‍රතිශක්තියත්, රෝගය වැලඳී සුවවීමෙන් ඇතිවන ප්‍රතිශක්තියත් මඟහැර යාමට හැකි ප්‍රභේදයක් වියහැකි බවට අනුමාන කරන නිසයි. එමෙන්ම පීසීආර් වැනි කෝවිඩ් - 19 හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණ ප්‍රතිඵල නිවැරැදිව වාර්තා නො වීමටත් මියු බලපාන්න පුළුවන් බව කියවෙනවා.

ඩෙල්ටා තරම් වේගයෙන් මියු පැතිරෙන්නේ නැහැ. කුමන ප්‍රභේදය අනාගතයේ අපව ආක්‍රමණය කළත් නියමිත කෝවිඩ් එන්නත් මාත්‍රා කලට වේලාවට ලබා ගනිමින් නිවැරැදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අප ජීවත් විය යුතුයි.

 

*දරුවන්ගේ දිගුකාලීන කෝවිඩ් සංකූලතා එතරම් දරුණු නැහැ

 

වෙනත් රෝගයක් සුව වුණාම "දැන් ඉතින් සනීපයි " කියා සිත සැහැල්ලුකර ගන්න පුළුවන්. එහෙත් කෝවිඩ් ගැන නම් එසේ සිතන්න බැහැ. රෝගය සුව වුවත් ඉන් ඇතිවන සංකූලතා නිසා කී දෙනෙක් නම් මරණයට පත්වී තිබෙනවාද? දිගු කාලීන සංකූලතා වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් පොදුයි.

එහෙත් දරුවන්ට වෛරසයෙන් වැඩිහිටියන්ට වඩා යම් සහනයක් ලබා දී තිබෙනවා. රෝගය ආසාදනයවූ  දරුවන්ගෙන් හා ගැටවරයන්ගෙන් සියයට හතරකට පමණ ඇතිවන පසුකාලීන සංකූලතා කෙටි කාලයකින් නැතිවී යනවා. සමහරුන්ට මාසයකට වැඩි කාලයක් පවතින්න පුළුවන්. වෙහෙස, හිසරදය, ගඳ නො දැනීම මොවුන් අතර සුලබ අතර ඒවා ඉක්මනින් නැතිවී යනවා. සමහර දරුවන්ට කැස්ස, පපුවේ වේදනාව, මතකය - අවධානය අඩු වීම වැනි දිගු කාලීන ලකුණු ඇති වෙනවා.

මේ අතර හෘද ප්‍රදාහයන් වැනි ප්‍රදාහයන් ද දරුවන්ට ඇති විය හැකි බව අමතක නො කළ යුතුයි. එවැනි දරුවන් ට උණ හට ගන්නවා.

කොහොම වුණත් දරුවන් දිගු කාලීන සංකූලතාවලට ගොදුරු වන්නේ අඩුවෙන්. දිගු කාලීන සංකූලතා ඇති වුණත් වැඩි දෙනකුට සතියකට අඩු කාලයකදී සුව වෙනවා.

 

 

------------------------------------

*කොරෝනා බුද්ධි ඵලය (IQ)පහත දමනවා.

 

කොරෝනා රෝගීන් ඇසුරින් පසුගිය වසරේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ ඔවුන්ගේ බුද්ධි ඵලය තිබුණාට වඩා අඩුවී ඇති බවයි. සිත එක අරමුණක තබා ගැනීම, නිවැරැදි වචනය සොයා ගැනීමට අසීරු වීම වැනි ගැටලුවලට මේ අය මුහුණ පානවා. රෝගයෙන් අසාධ්‍ය වෙන තරමට බුද්ධි ඵලයට වන හානිකර බලපෑම වැඩියි.

වඩාත් ම නරක ආරංචිය නම් කෝවිඩ් වසංගතය සමයේ උපන් දරුවන්ගේ ඊට පෙර උපන් දරුවන්ට වඩා සිතීමේ හැකියාව, මතක තබා ගැනීමේ හැකියාව ආදී සංජානනීය හැකියාවන් අඩු බව අධ්‍යයන මඟින් හෙළි වීමයි. දරුවාගේ පළමු වැනි අවුරුදු පහ වර්ධනයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක්. එහෙත් ළදරු පාසල්, ක්‍රීඩාංගන වසා ඇති, සම වයසේ දරුවන් ඇසුරු කිරීමට වසංගතය නිසා අවසරයක් නැති කාලයක වර්ධන ක්‍රියාවලිය හොඳින් සිදු වන්නේ කෙසේද? වෙනදා මාපියන් රැකියා ස්ථානයේ කටයුතු රැකියා ස්ථානයේදීම නිම කරනවා. ඒත් පහුගිය කාල වකවානුවේ සිටම සිදුවී තිබෙන්නේ මාපියන්ට නිවෙසේ සිට රාජකාරි කිරීමටයි. එවිට දරුවන් සමඟ ගත කරන කාලය අඩු වෙනවා. මාපියන් දරුවන් සමඟ ගත කරන කාලයත් රාජකාරිය සමබරව කරගෙන යාමත් සමබරව කරගෙන යාමට උත්සාහ ගැනීමේදී ආතතියක් ඇති වෙනවා. එයින් ද දරුවන් ගේ සංජානනීය හැකියාවන් අඩු වෙනවා.

නිවෙසේදීත් බාහිර පරිසරයේදීත් ඇතිවන මාපිය නෑ හිත මිතුරන් සමඟ ඇතිවන සබඳතා බිඳ වැටීම වසංගත සමයේ ඉපදුණු දරුවන් ට තදින් ම බලපානවා. මෙවැනි වාතාවරණයක් තිබියදී අනාගතයේ දරුවන් විභාගවලදී අඩු ලකුණු ගතහොත් පුදුම විය යුතු නැහැ. මාපියන් දැන් ම මේ ගැන අවධානය යොමුකර දරුවන් සමඟ ගත කරන කාලය වැඩි කිරීමට, ඔවුන් සමඟ කරන ක්‍රියාකාරකම් වැඩි කිරීමට පියවර ගතයුතුයි.

 

 

අන්තර්ජාලයෙනි