කෝවිඩ් රෝගයෙන් සුව වූවත් කලින් වගේම වැඩ කරන්න පුළුවන්ද ?

සැප්තැම්බර් 29, 2021

 

ඩෙල්ටා ප්‍රභේදයේ ශ්‍රී ලංකා ආක්‍රමණයත් සමඟ කෝවිඩ් රෝගියකු නැති ගෙයක් සොයා ගැනීමට බැරි තරම් විය. තමන් ගේනිවෙසේ රෝගියකු නො සිටියත් නෑ හිත මිතුරන් අතර කවුරුන් හෝ සිටීම කා හටත් පොදු අත්දැකීමක් වී තිබේ.

සාමාන්‍ය උණක් සෙම්ප්‍රතිෂ්‍යාවක් වැලඳී සුවවූ කෙනකුට මෙන් මේ අයට වැඩක‍ටයුතු කළ හැකිද? ඔවුන්ගෙන් නිරෝගී කාලයේදී මෙන් සේවය බලාපොරොත්තු වීම සාධාරණද? මේ ගැන සිතීම වැදගත් වන්නේ අප අතර සිටින එක් අයකු එවැන්නකු විය හැකි බැවිනි.

සුවවී සති හතරෙන් පසුව වුවත් ඇතිවන පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය

 කෝවිඩ් වැලඳිලා සුවවී සති හතරක කාලයක් ගතවුවත් සමහරුන්ට රෝගයේ සංකූලතාවලින් ගැලවීමක් නැහැ. මෙය වෛද්‍ය විද්‍යාත්මකව පසු ( පශ්චාත් ) කෝවිඩ් සින්ඩ්‍රෝමය ලෙසින් හඳුන්වනවා.

සියලු කෝවිඩ් ලක්ෂණ දුරු වෙලා රෝගය සුව වෙලා සති හතරකට පසුව කැස්ස ඇති වුණොත්, ඇඟේපතේ වේදනාව ඇත්නම්, නින්ද නො යනවා නම්, මනස ව්‍යාකූල නම් හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා නම් සිත එක තැනක තියා ගැනීමට බැරි නම් ගඳ - සුවඳ නො දැනීම දිගටම පවතිනවා නම් කැස්ස - පපුවේ තද ගතිය, සෙම ඇත්නම්, ඇදුම සෑදෙනවා නම් මෙය පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වයි. පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය, කෝවිඩ් වැලඳුන සෑම කෙනකුටම වැලඳෙන තත්ත්වයක් නො වෙයි. ඒත් ඇතැම් අයට වැලඳෙනවා. පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමය පවතින කාලය ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එක් පුද්ගලයකුට එය මාස තුනක් පැවතිය හැකි අතර

 

තවත් අයට එය අවුරුද්දක් පමණ පවතිනවා. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ සිරුරට වෛරසය විසින් ඇති කළ යම් යම් විනාශ

( හානි ) නිසයි. විශේෂයෙන් ම පෙණහලු, වකුගඩු, අක්මාව, හදවත, මොළය ඇතුළු බොහෝ අවයවයන්ට නව කොරෝනා වෛරසය බලපානවා. විසබීජය නාසය හරහා ඇතුළු වී මොළයේ අක්‍රීයව තිබෙන්න පුළුවන්. එය පීසීආර් පරීක්ෂණයෙන් සොයා ගන්න බැහැ. පීසීආර් නෙගටිව් වුවත් වෛරසයේ බලපෑම දිගට ම පවතින්න පුළුවන්. රෝගය සුවවී සති හතරකට පසු ඇතැම් අයට සේවයට වාර්තා කිරීමට සිදු වෙනවා. තමන්ට පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමයේ ලකුණු ඇත්නම් ඒ ගැන අදාළ පුද්ගලයන් දැනුවත් කළ යුතුයි. පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝම් ලකුණු තිබුණත් මේ අයගේ පීසීආර් ප්‍රතිඵල නෙගටිව්.

හුස්ම ගැනීමේ අපහසුතාවට සහනයක් ලද හැකි ක්‍රමයක්

හුස්ම ගැනීමේ අපහසුතාව, ඇදුම හා කැස්ස රෝගය සුවවූ පසු බොහෝ දෙනෙක් අත්දකිනවා. මෙයින් සහනයක් ලබාගත හැකි ක්‍රමයක් තිබෙනවා. නාසයෙන් හුස්ම ගෙන මුවින් හුස්ම පිට කිරීම ඒ ක්‍රමයයි. මුවින් හුස්ම පිට කළ යුත්තේ ඉටිපන්දමක් නිවනආකාරයට තොල් තබා ගනිමිනි. මෙයින් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කළ හැකියි. සෙම සහිත කැස්ස තිබුණත් වියළි කැස්ස තිබුණත් වාෂ්ප ඇල්ලීම මඟින් සහනයක් රෝගය සුවවූ කෙනකුට ලබා ගන්න පුළුවන්. වියළි කැස්ස ඇති අය වැඩිපුර ජලය පානය කළ යුතුයි. වියළි කැස්සට සිරප් ගත්තත් ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. දියවැඩියාව ඇති කෝවිඩ් රෝගියකුට නම් කැස්සට සීනි අධික සිරප් පානයන් ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. මේ අය සීනි රහිත ( ෂුගර් ෆ්‍රී ) සිරප් පානය කළ යුතුයි.

රෝගය නිසා පෙණහලුවල එකතු වන සෙම පිට කරන නිදන ඉරියව්

කෝවිඩ් වැලඳුණු අයගේ පෙණහලුවල විවිධ තැන්වල සෙම එකතු වන්න පුළුවන්. සෙම එළියට පිට කිරීමේදී නිදා ගන්න ඉරියව්ව වැදගත් වෙනවා. කොට්ට කිහිපයක් තබා හිස ඉහළට වන්නට තබා ගෙන නිදා ගැනීම මඟින් පහසුවෙන් හුස්ම ගන්න සුව නින්දක් ලබා ගන්න පුළුවන්. උකුළ පෙදෙසට කොට්ට දෙක තුනක් තබා ගෙන හිස පහතට වන්නට තබාගෙන නිදා ගැනීමෙන් පෙණහලුවල පහළ කුටීරවල සෙම ගතියක් දැනෙන අයට සහනයක් ලැබෙනවා. පෙණහලුවල ඉහළ කොටසේ සෙම ගතියක් දැනෙනවා නම් එක් ඇලයකට නිදා ගන්න. පෙණහලුවල මැද කොටසේ සෙම ගතියක් දැනෙනවා නම් උකුළට යටින් කොට්ටයක් දෙකක් තබා ගෙන නිදා ගැනීමෙන් මැද කොටසේ ඇති සෙම ගලා යයි. රාත්‍රියට කැස්සත් සමඟ නිදා ගැනීමට අපහසු අයට මෙවැනි ඉරියව් මඟින් සහනයක් ලද හැකියි.

නිතර ඇතිවන හතිය

තමන් කිසිවක් නොකර සිටියදී, එක දිගට කතා කරගෙන යද්දී නැවෙද්දී හතිය, කැස්ස ඇති වීම කෝවිඩ් සුවවූ රෝගීන්ගේ තවත් අත්දැකීමක්. එය ද විවිධ ඉරියව් මඟින් අඩු කළ හැකියි. පුටුවේ නිදහසේ වාඩිවීම, කොන්ද ඉදිරියට තබා ගෙන ( ඉදිරියට නැවී ) වාඩි වීම මඟින් සහනයක් ලැබෙනවා. ඉන්හේලර් වෛද්‍ය උපදෙස් මත ගැනීමෙන් හතියට, හුස්ම ගැනීමේ අපහසුතාවට සහනයක් ලබා ගන්න පුළුවන්.

ආහාර රුචිය වැඩිකර ගැනීම පෝෂණයට වැදගත්

පශ්චාත් කෝවිඩ් සින්ඩ්‍රෝමයේ ලකුණක් ලෙස ගඳ සුවඳ නො දැනීමෙන් ඇතිවන ලොකුම ගැටලුව වන්නේ ආහාර රුචිය අඩු වීමයි. ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට නම් මනා පෝෂණයක් ලැබිය යුතුයි.

නුදුරේදී යළි ගඳ සුවඳ දැනීමේ හැකියාව ලැබුණත් අප ඊට පෙර ගඳ සුවඳ දැනගැනීමේ පෙර පුහුණුවක යෙදීම වැදගත්. සුදුලූනු, රතු ලූනු, ගම්මිරිස්, පෙරුම්කායම්, කුරුදු වැනි සැර ගන්ධයකින් යුතු දේවල් නාසයට ළං කර උත්තේජනයක් ඇතිකර ගන්න.

*****************

හදවතේ පෙණහලුවල වේදනාව දැනෙන්නේ දෙආකාරයකට

හෘදයාබාධ කෝවිඩ් වැලඳුණු අය අතර සුලබයි. රෝගය සුවවූ පසු පපුව රිදුණොත් වැඩි දෙනෙක් එය හෘදයාබාධයක් ලෙස වරදවා වටහා ගෙන බියට පත් වෙනවා. රෝගියාට ම තමන්ට ඇත්තේ පපුවේ වේදනාවක් ද පෙණහලුවල අපහසුතාවක් ද කියා තමන්ට ම හඳුනා ගන්න පුළුවන්. හුස්ම ගන්නා විට, අතගා බලන විට, ඉරියව් වෙනස් කරන විට ඇති වෙන වේදනාව හෘදයාබාධයක ලකුණක් නො වෙයි. හෘදයාබාධයකදී බොහෝවිට ඇති වන්නේ පපුවේ මැද ඇතිවන උසුලාගත නො හැකි වේදනාවක්.

 

*******************

රෝග ලකුණු සමඟ පීසීආර් පොසිටිව් නම් දෙවැනි වරටත් රෝගය වැලඳිලා

රෝගයෙන් සුවවූ අය මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ ඔවුනගේ පීසීආර් වාර්තා පොසිටිව් වීමයි. රෝග ලකුණු නැතිව පීසීආර් පොසිටිව් වීම නො සලකා හැරිය යුතු කාරණයක්. නව කොරෝනා වෛරසයේ කැඩී බිඳී ගිය කොටස් තිබීමෙන් පීසීආර් පොසිටිව් වෙන්න පුළුවන්. එහෙත් රෝග ලකුණු ඇතිව පීසීආර් පොසිටිව් වුණොත් එයින් සිතා ගත යුත්තේ දෙවැනි වරට ද කෝවිඩ් රෝගය වැලඳී ඇති බවයි.

 

උපදෙස්

කායික රෝග හා දියවැඩියා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක