මුං කිරිබත් අපිත් හදමු..

දෙසැම්බර් 26, 2018

පුංචි කාලේ මුංකිරිබත් ගැන මතක තියෙන්නේ පුංචි කතාවක් එක්කයි. ඒත් කතාව අහලා තිබුණත් මුං කිරිබත් රස විඳ නැති අයට අද අපි ඉදිරිපත් කරන විදියට මුං කිරිබත් නිවෙසේ දීම සකසා රස විඳින්න පුළුවන්.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ

හාල් කෝප්ප 2 ක්

මුං ඇට කෝප්පයක්

පොල් කිරි කෝප්පයක් ( මිටිකිරි)

ලුණු ස්වල්පයක්

වතුර

දැන් එය සාදමු

පළමුවෙන් ම මුං ඇට සෝදා රැයක් පෙඟෙන්නට තබන්න. හාල් සෝදා පෙඟුණු මුං ඇට සමඟින් තැම්බෙන තරමට වතුර තබා ළිප තබන්න. බත තැම්බෙන ප්‍රමාණයට වඩා තරමක් වතුර වැඩියෙන් තැබීමෙන් බත වඩාත් හොඳින් තැම්බෙයි. මිටිකිරිවලට ලුණු ස්වල්පයක් දමා බත තැම්බුණු පසුව එය එකතුකර මඳ ගින්නේ කිරිබත පිසගන්න. කෙසෙල් කොළයකට හෝ තැටියකට කිරිබත් අතුරා කෑලි කපා ගන්න.

මුං ඇට සෝදන විට සමහර ඇට උඩ පාවෙන අතර එම ඇට ඉවත් කරන්න. ඒ මුං ඇට බොහෝ විට බොල් ඇටයි.

එමෙන්ම මුං ඇට ගරන විට අඩියේ ඉතුරුවන මුං ඇට ද ඉවත් කළ යුතුයි. ඒවා ගල් මෙන් වූ තැම්බීමට අමාරු මුං ඇටයි.

මුං ඇට තැම්බීම මදි බවක් හැඟේ නම් හාල් කලවම් කිරීමට කලින් මුං ඇට බාගෙට තම්බා ඊට පසුව හාල් එකතුකර කිරිබත හදාගන්න.