කේක් රස මිහිර

දෙසැම්බර් 26, 2018

ළඟ එන අලුත් අවුරුද්දට ඔබේ පුංචි පවුල වෙනුවෙන් සාදා දිය හැකි රෙඩ් වෙල්වට්

කේක් සහ චොකලට් ගැටෝ එකක් සාදා ගන්නා ආකාරයයි මේ. මේ වගේ කේක්වල රස බලන්න පුංචි දරුවෝ නම් හරිම කැමැති වෙයි නේද?

එහෙනම් අපි මුලින්ම රෙඩ් වෙල්වට් කේක් එක හදන්න අවශ්‍ය වෙන්නෙ මොනවද කියලා බලමු.

 

වතුර කෝප්ප තුනක්

චොකලට් පවුඩර් ග්‍රෑම් 250 ක්

රතු කලරිං තේ හැඳි 3 ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 10 ක්

බටර් ග්‍රෑම් 500 ක්

සීනි ග්‍රෑම් 875 ක්

බිත්තර කහමද 9 ක්

පිටි ග්‍රෑම් 700 ක්

බේකිං සෝඩා ග්‍රෑම් 8 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 12 ක්

කෝන්පිටි ග්‍රෑම් 50 ක්

බිත්තර සුදුමද 9 ක්

යෝගට් හෝ මීකිරි ග්‍රෑම් 500 ක්

කෝන් ඔයිල් ග්‍රෑම් 75 ක්

වැනිලා එසන්ස් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

පළමුව වතුර, චොකලට් පවුඩර්, රතු කලරිං සහ කොකෝ පවුඩර් මේ සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු තවත් බදුනක් ගෙන එයට බටර්, සීනි ග්‍රෑම් 500 ක් සහ බිත්තර කහමද දමා හෑන්ඩ් මික්සර් එකක් ආධාරයෙන් බීට් කරගන්න.

දැන් පිටි බේකිං සෝඩා, බේකිං පවුඩර් සහ කෝන් පිටි එකට මිශ්‍රකර හලා ගන්න. පසුව බඳුනකට බිත්තර සුදුමද සහ ඉතිරි සීනි ටික දමා හොඳින් බීට් කරගන්න. යෝගට්, කෝන් ඔයිල් සහ වැනිලා එසන්ස් තවත් බඳුනකට දමා හොඳින් කලවම් කරගන්න. දැන් පළමුවෙන්ම සාදාගත් මිශ්‍රණයට හලාගත් පිටි මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු බටර්, කහමද සහිත මිශ්‍රණයට බිත්තර සුදුමද මිශ්‍රණය සහ යෝගට් සහිත මිශ්‍රණය දමා කලවම් කරගන්න.

ඉහත මිශ්‍රණ දෙකම එකට කලවම්කර රවුම් තැටියකට දමා සෙල්සියස් අංශක 160 - 170 උෂ්ණත්වයකින් කේක් එක පුලුස්සා ගන්න.

ඉන්පසුව ක්‍රීම් චීස් ග්‍රෑම් 250 කට අයිසිං සීනි ග්‍රෑම් 500 ක් සහ දෙහි ගෙඩියක යුෂ දමා හොඳින් බීට් කරගන්න. දැන් පුලුස්සාගත් කේක් එක ගෙන දෙකට කපා ඉහතින් සාදාගත් අයිසිං මිශ්‍රණය තවරා අනෙක් කේක් කොටස උඩින් තබා සැන්ඩ්විච්කර කැමැති පරිදි කේක්එක සරසා ගන්න.