හරිම රසයි දෙල් අලුවා

ජනවාරි 16, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳට පැසුණු ලොකු දෙල් ගෙඩියක්

සීනි ග්‍රෑම් 500 ක්

රටඉඳි ග්‍රෑම් 250 ක්

රුලං ග්‍රෑම් 100 ක්

සුවඳ කුඩු තේ හැඳි 1 ක්

පොල්කිරි (මිටිකිරි) අඬු කෝප්පයක්

බැදීමට පොල්තෙල්

 

සාදන ක්‍රමය

පළමුව දෙල් ගෙඩිය පොතු ශුද්ධකර හතරට පලා දෙල් වහල්ල කපා දාන්න. දැන් එය සෝදා හීනියට කූරු ආකාරයට කපා වතුර බේරෙන්නට තබන්න. ඉන්පසුව තෙල් තාච්චිය ළිප තබා එම දෙල් කූරු ටික ටික දමා ගැඹුරු තෙලේ තරමක් රන්වන් පැහැයට බැදගන්න. සියල්ලම බැදගත් පසු ඒවා හීනියට කොටාගන්න.

අනතුරුව රටඉඳි ටික ඇට ඉවත්කර කෑලිවලට කපාගන්න. සීනි ටික ජලය ස්වල්පයක් දමා උණු කරන්න. බාගෙට උණු වීගෙන එනවිට පොල්කිරි ටික ද දමන්න. දැන් නැවතත් හොඳට උණු කරන්න. සීනි මිශ්‍රණයේ බුබුලු මතුවීගෙන එනවිට රුලං ටික මිශ්‍ර කරන්න. දැන් කොටා ගත් දෙල් ටිකත් කපාගත් රටඉඳි ටිකත් මිශ්‍රකරන්න. අවසානයට සුවඳ කුඩු මිශ්‍රකර තරමක් තෙත ගතිය තිබියදීම ළිපෙන් බාන්න. බටර් හෝ තෙල් තැවරූ ලෑල්ලක තුනීකර කෑලි කපා ගන්න. මාසයක් පමණ වුණත් තියාගෙන කෑමට ගතහැකි රසකැවිල්ලකි මේ.