අතුරුපසට ස්නෝ පුඩිං

මාර්තු 6, 2019

මොන්ගෝලියන් රයිස් එක තරමක් බර ආහාරයක් වන නිසා මෙවැනි ආහාර වේලකින් පසුව ගන්නා අතුරුපස සැහැල්ලු වීම වඩාත් සුදුසුයි. මෙය එවැනි වෙනත් ආහාර වේලකින් පසුව වුවත් ඔබට රස විඳිය හැකියි.

ස්නෝ පුඩිමට අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මද 10 ක්

සීනි ග්‍රෑම් 250 ක්

යෝගට් 5 ක්

ජෙලටින් පුරවපු තේ හැඳි 5 ක්

කජු ග්‍රෑම් 50-100 ක් අතර ප්‍රමාණයක්

අන්නාසි ගෙඩියක්

අන්නාසි වෙනුවට රසවත් අඹ ද ගත හැකියි.

 

දැන් පුඩිම හදමු

සීනි ටික හොඳින් කුඩුකර ගන්න. යෝගට් හැන්දකින් හොඳින් ක්‍රීම් කරන්න. අන්නාසි කුඩා කොටු කපා මිරිකා ගන්න. දැන් එහි යුෂ පැත්තකින් තබා අන්නාසි රොඩුවලට සීනි මේස හැඳි 2-3 ක් දමා ළිප තබා ස්ටු කරගන්න.

ජෙලටින්වලට ඇල්වතුර මේස හැඳි 5-6 ක් දමා පෙඟෙන්නට තබන්න. කජු මද රෝස්ට් කරගන්න. අඹ ගන්නවා නම් ළෙලි ඉවත්කර කුඩාවට කපා ගන්න.

මිරිකා ගත් අන්නාසි යුෂ ළිප තබා උණුකර මේස හැඳි 2 කට පමණ හින්දවා ගන්න. ළිප නිවා පෙඟෙන්නට තැබූ ජෙලටින් හිඳුන අන්නාසි යුෂ එකට දමන්න. මෙහිදී ළිප නැවත දැල්වීම අවශ්‍ය නොවන්නේ අන්නාසි යුෂවල උණුසුමෙන් ජෙලටින් දියවන නිසයි.

දැන් බිත්තර සුදු මද හොඳින් බීට් කරන්න. මෙය බඳුන අනික් පස හැරවූවද බිමට නොවැටෙන පදමට එනතෙක් කළ යුතුයි. පසුව සීනි මේස හැඳි 2 බැගින් එකතු කරමින් බීට් කරගන්න. උණුකරගත් ජෙලටින්, උණුසුම තිබිය දී ම සුදු මද මිශ්‍රණයට එක්කර බීට් කරන්න.

ක්‍රීම් කරගත් යෝගට් ද මෙම මිශ්‍රණයට එකතු කරන්න. අන්නාසි ස්ටු කරගත් ටිකක් හා අඹ ටිකක් ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

බටර් ගා ගත් ටේ‍්‍ර එකකට හෝ පිළිගන්වන බඳුන්වලට ම මිශ්‍රණය දමන්න. උඩින් කජු, අන්නාසි කැබැලි, අඹ ආදිය දමා සරසා අධි ශීතකරණයක පැය භාගයක් පමණ වේලාවක් තිබෙන්නට හැර පසුව ශීතකරණයේ සාමාන්‍ය කොටසට දමන්න.