අලුත්ම තාලේ නන්ස්ටික් කොකිස් අච්චුවක් මෙන්න තියෙනවා

මාර්තු 13, 2019

ඔන්න අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවා. කවුරුත් දැන් සූදානම් වෙන්නේ අලුත් අවුරුද්දට. විශේෂයෙන්ම අපේ ගෘහණියන්ට තමයි වැඩිපුරම රාජකාරි අධික. ගේ දොර පිරිසුදු කරන්න... වත්ත පිටිය එළි පෙහෙළි කරන්න... ඇඳුම් පැලඳුම් ගන්න... විතරක් ද අලුත් අවුරුද්ද කෑම බීම හදන්නත් තියෙනවා.

අපේ වැඩිහිටි අම්මලා නම් කෑමබීම සකස්කරන්න සැරසෙන්නේ සෑහෙන කාලයක පටන්. පිටි කොටලා, කුරහන් අඹරලා මේ සියලු දේ කරගෙන තමයි කැවුම් කොකිස් හදන වැඩේට සූදානම් වුණේ.

ඒත් දැන් ගෘහණියෝ හරිම අවිවේකයි. ඒ අයට මේ දේවල් කරන්න කාලයක් නැහැ. සමහරුන්ට තියෙන ලොකුම ගැටලුව කාලය තිබුණත් අපේ කෑමබීම හදන්න පුරුද්දක්, හුරුවක් නැතිවීමයි. සමහරු රූපවාහිනියේ හරි, පත්තරයක ඇති කෑම හදන ක්‍රමයක් බලාගෙන වැඩේ කරන්න හදනවා.

නමුත් කරන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ වැඩේ ලෙහෙසි නැහැ කියලා. අලුත් අවුරුද්දට කෑම මේසයට නැතිවම බැරි කොකිස් කියන්නෙත් එවැනිම කෑමක්.

අපේ වැඩිහිටි අම්මලාට නම් කොකිස් හදන්න අතේ හුරුව තිබුණ නිසා වැඩේ අමාරු නැහැ. නමුත් දැන් කාලයේ ගෘහණියෝ කොකිස් හදන්න ගියොත් ගැළවෙන්නේ නැතුව මොනතරම් මැසිවිලි නඟනවාද? මේ නිසාම දැන් අපේ ගෘහණියන් කොකිස් ටිකක් කඩෙන් මිලදි ගන්න තමයි හුරුවෙලා තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් කඩෙන් ගන්න කොකිසයක් රුපියල් 20 - 25 ක් වෙනවා. තරමක් පොඩි මෙවැනි කොකිස් විස්සක් විතර ගෙනත් කෑම මේසයට තියන්නේ තමුන්ට මේ වැඩේ හරියට කරගන්න බැරි නිසා.

හැබැයි මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් නම් ගෘහණියකට කොකිස් ටිකක් ගෙදරදීම සාදා ගැනීම මහ ලොකු දෙයක් නොවෙයි.

එකම දෙය රස පදමට කොකිස් මිශ්‍රණය සාදාගෙන ගැළපෙන කොකිස් අච්චුවකින් වැඩේ කරනවා.

2019/03/13 තරුණි බලන්න.