මැකරූන් කිසර්ස් තේ වෙලාවටත් අපූරුයි

මාර්තු 20, 2019

කිරි රසය, පැණි රසය, චොකලට් රසය එකට කැටිවුණු රසම රස අතුරුපසක් තමයි මේ මැකරූන් කිසර්ස්. රස වාගේම තමයි පෙනුමත් හරිම කදිමයි නේද? ප්‍රධාන ආහාරයට පසුව ගන්නා අතුරපසක් විදිහට පමණක් නොව කෙටි රසකැවිල්ලක් ලෙසින් තේ මේසයටත් හරිම අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් කෝප්ප 1/3 ක්

ක්‍රීම් චීස් අවුන්ස 03 ක්

සීනි කෝප්ප 3/4 ක්

බිත්තර කහමදයක්

ආමන්ඩ් එසන්ස් තේ හැඳි 02 ක්

පිටි කෝප්ප 1 1/2 ක්

බේකින් පවුඩර් තේ හැඳි 02 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

ගාගත් පොල් කෝප්ප 05 ක්

(එය කෝප්ප 02 ක් සහ 03 ක්

බැගින් බඳුන් දෙකකට බෙදා ගන්න.)

 

සාදන ක්‍රමය

තරමක් ලොකු බඳුනක් ගෙන එයට බටර්, චීස් සහ සීනි එක් කරන්න. එයටම බිත්තර කහමදය සහ ආමන්ඩ් එසන්ස් ද එකතුකර හොඳින් බීට් කරන්න. දැන් තවත් බඳුනක් ගෙන එයට පිටි, බේකින් පවුඩර් සහ ලුණූු එකතුකරන්න. හොඳින් කලවම්කර ඉහතින් ගසාගත් බටර් මිශ්‍රණයට මේ පිටි මිශ්‍රණය එකතු කරන්න. පොල් කෝප්ප 03 ක් ද එකතුකර නැවතත් හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව මේ මිශ්‍රණය ෆොයිල් පේපර් එකකින් වසා පැයක් පමණ ශීතකරණයේ තබන්න.

පැයකට පසුව මේ මිශ්‍රණය ශීතකරණයෙන් පිටතට ගෙන කුඩා බෝල සාදා ඒවා අතින් මඳක් පැතලි කරගන්න. ඉන්පසු ඉතිරි වූ පොල්මත මෙය දවටාගන්න. බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දමා මේ කුඩා කුකීස් ඒමත අසුරන්න. අනතුරුව ෆැරන්හයිට් අංශක 350 ක උෂ්ණත්වයෙන් මේ කුකීස් විනාඩි 10 - 12 ක් බේක් කරන්න. බේක් කරගත් වහාම පිටතට ගෙන චොකලට් බෝලයක් හෝ ජෑම් බිඳුවක් කිසර්ස් එක මැදින් තබා හැඩකරගන්න