වයිට් ටොමැටෝ සුප්

මාර්තු 27, 2019

සුදු තක්කාලි සුප් එකක මිහිරියාවයි මේ. මෙවැනි සුප් වර්ග ඔබට විටෙන් විට අත්හදා බලන්න පුළුවන්. එකම වට්ටෝරුවක සීමාවී සිටීම කොහෙත්ම අවශ්‍ය නැහැ.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ

(මේ පස්දෙනකු සඳහා සෑහෙන ප්‍රමාණයයි)

තක්කාලි ගෙඩි 10 ක්

බී ලූනු ගෙඩි 2 ක්

බැසිල් හෝ කරපිංචා ග්‍රෑම් 5 ක්

ගම්මිරිස් ඇට ස්වල්පයක්

කුරුඳු කැබැල්ලක් - ග්‍රෑම් 5 ක පමණ

නැවුම් කිරි හෝ පොල්කිරි මිලිලීටර් 500 ක්

බටර් ග්‍රෑම් 50 ක්

වතුර ලීටර් 1 1/2 ක්

ඉඟුරු කැබැල්ලක් ග්‍රෑම් 5 ක පමණ

දෙහි ගෙඩියක්

කෝන් පිටි තේ හැඳි 3 ක්

සීනි ග්‍රෑම් 5 ක්

ලුණු ග්‍රෑම් 5 ක්

කට්ටා කරවල ග්‍රෑම් 50 ක්

රෝස්පාන් කැබලි 3 ක්

මේස හැඳි 1 ක් = ග්‍රෑම් 5 යි

තේ හැඳි 1 ක් = ග්‍රෑම් 2.5 යි

සාදාගන්නා අන්දම

ප්‍රථමයෙන් තක්කාලි ගෙඩි පිටින්ම වතුර ලීටර් 1 1/2 ක තම්බා ගන්න.

එයට දෙහි, කෝන් පිටි, නැවුම් කිරි හැර අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය එකතු කරන්න.

විනාඩි 30 ක් තම්බාගත් පසු තව විනාඩි 5 ක් පසෙක නිවෙන්නට තබා රොඩු නොයන ආකාරයට පෙරන ගොට්ටකින් පෙරා ගන්න.

තවත් භාජනයකට පිරිසුදු තක්කාලි දියර නැවුම් කිරි හෝ උකු පොල් කිරි සමඟ උතුරා නොයන ආකාරයට රත් කරගන්න. ඉන්පසු වතුර ස්වල්පයක් සමඟ දියකරගත් කෝන් පිටි ක්‍රමයෙන් අවශ්‍ය ප්‍රමාණයට උකුවන සේ කලවම් කරගන්න.

ළිපෙන් බාගත් පසු දෙහි ගෙඩියක යුෂ එකතු කරගන්න. නිර්මාංශ නොවන අයට කරවල කැබැල්ලක් තම්බාගෙන එය තෙලෙන් බැද කුඩා කැබැලිවලට කඩා සුප් එකට එකතු කිරීමෙන් අමුතුම රසයක් විඳගත හැකියි. අවශ්‍ය නම් සැහැල්ලු ආහාරයක් ලෙස රෝස්පාන් සමඟ සුප් එක රස විඳිය හැකියි.