ගුරුමුෂ්ටියක් නෑ මෙන්න කැවිලි රහස්...

අප්‍රේල් 10, 2019

සාරසොබාවට ඔබේ දෑතින්ම අලුත් අවුරුදු මේසයක් පිළියෙල කරගත හැකි නම්... එය ඔබට අවුරුදු උදාවත් සමඟ ලැබෙන විසල් අභිමානයක් වේවි. ‘ඒත් හරිහැටි අලුත් අවුරුදු කැවිලි ටික හදාගන්නේ කොහොමද?’ ඔබේ සූපවේදී හැකියාව ගැන සිතේ සැක සංකා උපදිනවා ඇති.

අපි අපේ කැවිලි සකසා ගැනීමේ හෙළ සූපවේදයේ රහස් හෙළිදරව් කරන්නට සිතුවේ ඒ නිසායි. සැබැවින්ම අපේ මේ වැයම ඔබට කදිම අලුත් අවුරුදු තෑග්ගක් වනු සිකුරුයි.

කොණ්ඩ කැවුම් අලුත් අවුරුදු කැවිලි මේසයේ රජ්ජුරුවෝ වාගේයි. ඒත් අපේ බොහෝ ගෘහණියන් ළඟ හරි හැටි කොණ්ඩ කැවුමක් සකසා ගැනීමේ සූපවේදය නැහැ. සැබැවින්ම ‘කොණ්ඩය එන්නේ නෑ. පැණි පාටට නෑ. හයිය වැඩියි...’ කොණ්ඩ කැවුම් එක්ක අපේ ගෘහණියන්ට ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා.

කොණ්ඩ කැවුමේ රහස

කොණ්ඩ කැවුම් කියන්නේ පිටි මිශ්‍රණය සකසා ගත් සැණින් හැදිය හැකි වර්ගයක් නොවෙයි. පිටි ටික ඒදලා එය පිපෙන්න පැය දෙක තුනක්වත් තැබිය යුතුයි. සමහර අය රෑට පිටි ටික ඒදලා උදේට කැවුම් ටික උයනවා. කැවුමේ කොණ්ඩය ලස්සනට එන්නේ මෙලෙස පිටි මිශ්‍රණය හරිහැටි පිපුණොත් පමණයි. කැවුමේ කොණ්ඩය එන්න නම් පිසීමේදී ඔබේ අත් දෙකමත් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ එක අතකින් කූර කරකවද්දී අනෙක් අතින් කැවුමේ ඉහළට තෙල් ඉසීම සඳහායි. උණු තෙල් කැවුමේ ඉහළට ඉහින විට එය ඇතුළේ පිටි ටික කූර දිගේ ඉහළට පිපිරි පිපිරී මතුවෙන හැටි ඔබට පෙනේවි.

කොණ්ඩ කැවුම මෙළෙකට නොතිබී හයි වන්නේ ඇයි? මේ ප්‍රශ්නයත් ගොඩාක් අයට තියෙනවා. කොණ්ඩ කැවුම් සීනිවලින්ම හැදුවෝතින් හයි වෙන්න බලනවා. හාල් පිටි හුණ්ඩු හතරකට උකු පැණි හුණ්ඩු දෙකක් දැමීම සම්මතයයි. සීනි එකතු කරනවා නම් හාල් පිටි කිලෝ භාගයකට පැණි බෝතල් භාගයක් හා සීනි ග්‍රෑම් 100 ක් විය යුතුයි.

මෙහිදී අපි පොල් පැණි හෝ කිතුල් පැණි කියා වෙළෙඳපොළෙන් මිලදී ගන්නේ සීනි එකතුකර සැකසූ පැණි ද යන ගැටලුවත් තිබෙනවා. සැබැවින්ම කොණ්ඩ කැවුම් සඳහා හොඳ කිතුල් පැණි ටිකක් සපයා ගත හැකි නම් ඔබ සැකසූ කොණ්ඩ කැවුම් තියෙන්න තියන්න මෙළෙක් වේවි.

සාමාන්‍යයෙන් කොණ්ඩ කැවුමක තද දුඹුරුවන් පැහැයක් තිබෙනවා. පැණිවල පාට අනුව එහි අඩුවක් විය හැකියි. මේ නිසා පිටි මිශ්‍රණය සකසා ගැනීමේදී සීනි කරකර වතුර ටිකක දියකර එක්කර ගැනීමෙන් කොණ්ඩ කැවුමේ පැහැය රැක ගත හැකියි. රත්වූ තෙලේ බැදගත්තෝතින් කොණ්ඩ කැවුම කර විය හැකියි. මේ නිසා කොණ්ඩ කැවුම් ඉවීමේ දී ළිපේ ගින්දර පාලනය කර ගැනීමටත් අවධානයෙන් සිටිය යුතුයි.

කොණ්ඩ කැවුමේ රසය ගැන සැලකිලිමත් වීමේදී පැණි ටික ටිකක් රත්කිරීම වටිනවා. ඉන් පැණිවල දිය ගතිය අඩුවනවා වගේම ඇඹුල් ගතියක් ඇත්නම් එයත් අඩුවනවා. පිටි මිශ්‍රණයට කබලේ බැදලා කුඩු කරගත් මාදුරු ටිකක් හෝ එනසාල් කෑලි කීපයක කුඩු එකතු කිරීමෙන් වෙනත් රසයකින් කොණ්ඩ කැවුම් සකසා ගත හැකියි.

 

2019/04/10 තරුණි බලන්න