කොරෝනා රෝගීන්ට ගැළපෙන ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර

ජූලි 7, 2021

 

කොරෝනා වසංගතය අපේ ජීවන රටාවම උඩු යටිකුරු කළේ නොසිතූ ලෙසිනි. එය අපගේ ජීවන රටාව පමණක් නොවෙයි එදිනෙදා ආහාර රටාව පවා වෙනස් කළේ සමස්ත සමාජයේම විශාල පරිවර්තනයක් සිදුකරමිනි.

මේ නිසා නිවෙසේ කොටු වූ සැමටම සරල ආහාර රටාවකට හුරුවීමට සිදුවිය.

මේ සමාජ පරිවර්තනය තුළ බොහෝ දෙනෙක් තමුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකරන කෑම බීම ගැන වැඩි උනන්දුවක් දැක්විය. එසේම ඇතැම් අයකුට කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන්වීම නිසා නිරෝධායනයවීමට ද සිදුවිය. මෙලෙසින් මේ රෝගය නිසා නිවෙසේ බොහෝ දෙනෙක් තමුන්ගේ කෑමබීම පිළිබඳ ඉතාමත් ප්‍රවේසම් විය.

විශේෂයෙන්ම ගෘහණියන් තමුන්ගේ පවුලේ කෑම බීම සැකසීමේදී කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සුදුසු ආහාර ගැන දැක්වූයේ විශාල උන්නදුවකි. ඒ නිසාම අප ඔබට මෙවර ඉදිරිපත් කරන්නේ කොරෝනා රෝගයට පමණක් නොව ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා ගැළපෙන අපේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර වට්ටෝරු කිහිපයකි. ඇතැම්විට මේ කෑම ගැන ඔබට දැනුමක් සහ අවබෝධයක් තිබෙන්නට ඇත. එහෙත් එම ආහාර ඉතාම රසවත්ව සකස්කර ගැනීමට උපකාරී වන අමුද්‍රව්‍ය හා ක්‍රම කීපයක් අපි ඔබට තිළිණ කරමු.

 

 

උපදෙස් - සූපවේදී

අජිත් ගමගේ

 

 

 

උණෙන් ‍ෙප‍ළෙන අයට දෙන තැම්බුම් හොද්ද

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

සූදුරු, කොත්තමල්ලි

මේස හැඳි 1ක්

ගම්මිරිස් ඇට 20ක්

සුදුලූනු බික් 5ක්

රතුලූනු ගෙඩි 10ක්

උළුහාල් ඇට 15ක්

කුරුඳු පොතු කැබැලි 1ක්

කරපිංච ඉති 1ක්

උම්බලකඩ

කෑලි 2ක්

ගොරක

කෑලි 1ක්

සියඹලා ඇඹුල් ටිකක්

 

 

 

 

සාදන ක්‍රමය

 

පිරිසුදු මැටි වළඳක් හෝ සාස්පානක් හෝ ගෙන සුදුලූනු හා රතුලූනු පෙතිගසා දමන්න. සූදුරු, කොත්තමල්ලි හා ගම්මිරිසුත් තළා දමන්න. අනෙක් කළමනා හා පමණට ලුණුත් දමා අතින් පොඩි කරන්න. ඉන්පසු වතුර පත පහක් (අඬු කෝප්ප) පමණ දමා ළිප තබා කෝප්ප එකහමාරකට සිඳුවා ලුණු, ඇඹුල් බලා බොන්නට දෙන්න. බඩ විරේක වී දුර්වල වූ ලෙඩුන්ට සියඹලා ඇඹුල් දැමිය යුතු නොවේ. ඒ වෙනුවට ගොරකා පමණක් යොදන්න. ඇඹුල් රස අඩු නම් දෙහි ඇඹුල් ටිකක් දමාගන්න.

*****************

ලෙඩුන්හට දෙන  අමු හාල්මැස්සන් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

 

අමු හාල්මැස්සන් (වැලි හාල්මැස්සන්) 25ක් පමණ

(පෙති ගැසූ) රතුලුනු ගෙඩි 12ක්

සුදුලූනු බික් (පෙති ගසා) 3ක්

අමුමිරිස් කරල් 1ක්

කරපිංච ඉති 1ක්

කුරුඳුපොතු අඟලක කැලි 1ක්

සූදුරු, ගම්මිරිස්, කොත්තමල්ලි මේස හැඳි 1ක්

ගොරක කෑලි 2ක්

දෙහි බෑයක ඇඹුල්

මිරිස් තේ හැඳි 1ක්

උළුහාල් ඇට 15ක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

හාල්මැස්සන් ටික හොඳ හැටි සෝදා වළඳකට දමා වතුර කෝප්ප හතරක් පමණ වක්කරන්න. සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් හා මිරිස් අඹරා එහි දමන්න. ඉන්පසු රතුලුනු ආදි සියලු දේ දමා නිසි පමණට ලුණු යොදා ළිප තබා වතුර පත එකහමාරකට සිටි විට දෙහි ඇඹුල් වක්කොට ගොරක ඉවත ලා ළිපෙන් බාගන්න. මේ හොද්ද බත් කෑමට ගන්න. නීරෝගී අය මේ හොද්ද තෙම්පරාදු කොට පොල් සමඟ බත් කෑමට ගනිති. එහෙත් මෙය තනිකර මිස අනෙක් ව්‍යංජන සමඟ එතරම් ගැළපීමක් නැත.

*****************

බඩේ අමාරු ඇති අයට දෙන ඇඹුල් ඇඹිලිය හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

 

ඇඹුල් ඇඹිලිය කොළ අහුරු 1ක්

රතුලූනු පෙති අහුරු 1ක්

කරපිංච ඉති 1ක්

උම්බලකඩ කුඩු ස්වල්පයක්

සූදුරු මේස හැඳි 1ක්

සුදුලූනු බික් 2ක්

කුරුඳු පොතු කෑල්ලක්

කොත්තමල්ලි ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

ඇඹුල් ඇඹිලිය කොළ අහුරක් හා රතුලූනු පෙති අහුරකුත් ගන්න. කරපිංච, උම්බලකඩ, සුදුලූනු (බික් දෙකක්) කුරුඳු පොතු (කෑල්ලක්) කොත්තමල්ලි, ගම්මිරිස්, සූදුරු (මේස හැන්දක් පමණ) යන මේවා එකින් එක තළාගන්න.

ඉන්පසු මේ සියල්ල හට්ටියකට දමා වතුර පත පහක් (අඬු කෝප්ප 5ක්) පමණ වක්කොට ලුණු ස්වල්පයක් යොදා ළිප තබා පත දෙකකට පමණ සිඳුවාගෙන බොන්නට දෙන්න. බත් කනවා නම් මේ හොදිත් සමඟ බත් දෙන්න.

*****************

ලෙඩුන්ට ළපටි මුරුංගා කරල් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි මුරුංගා කරල් 4ක්

රතුලූනු ගෙඩි කිහිපයක්

අමුමිරිස් කරල් 1ක්

උළුහාල් ස්වල්පයක්

කරපිංච ඉති 1ක්

උම්බලකඩ කුඩු ස්වල්පයක්

පොල්කිරි කෝප්ප 1ක්

මිරිස්, තුනපහ ස්වල්පයක්

අබ සහ කහ ස්වල්පයක්

 

සාදන ක්‍රමය

ළපටි මුරුංගා කරල් හතරක් පමණ ගෙන පොතු කුරුටු ගා ශුද්ධ කොට කෑලි කපා වළඳකට දමන්න. ඉන්පසු රතුලූනු ගෙඩි පහක් - හයක් ද අමුමිරිස් කරලක් ද ලියා ඊටම එකතු කරන්න. පසුව උළුහාල් ටිකක් ද කරපිංච ඉත්තක් ද උම්බලකඩ කුඩු ටිකක් ද මිශ්‍ර කරන්න. ඉන් පසු වතුර කෝප්පයක් දමා බටු ගෙඩියකින් පංගුවක් පමණ මිරිස් තුනපහ යොදා ළිප තබා, තබන ලද ඉස්ම භාගයක් පමණ හිඳුණු පසු වඩා උකු නැති පොල්කිරි කෝප්පයකට, අඹරාගත් අබ, කහ ස්වල්පයක් (බටු ගෙඩියකින් 1/4 පමණ) යොදා වක්කොට කිරි කැටිගැසෙන්නට නොදී හැඳිගා හොද්ද මැදින් නටන විට බිමට බාගෙන තවත් ටික වේලාවක් හැඳිගා පාවිච්චියට ගන්න. මෙය පොල්කිරි නොයොදා තැම්බුම් හොද්දක් වගේ සාදා ගන්නත් පිළිවනි. මේ හොද්ද බඩගිනි වඩයි.

*****************

සූතිකාවන්ට දෙන  සුදුලූනු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුලූනු බික් 50ක්

රතුලූනු ගෙඩි 10ක්

අමු මිරිස් කරල් 3ක්

උම්බලකඩ කුඩු ටිකක්

උළුහාල් ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

මිරිස් කුඩු ස්වල්පයක්

සූදුරු ස්වල්පයක්

කොත්තමල්ලි ස්වල්පයක්

කහ ස්වල්පයක්

දෙහි බෑයක ඇඹුල්

ගොරක කෑලි 2ක්

 

සාදන ක්‍රමය

සුදුලූනු, රතුලූනු හා අමුමිරිස් කපා වළඳක දමා උම්බලකඩ හා උළුහාල් ද එකතුකරන්න. ඉන්පසු ගම්මිරිස්, මිරිස්, කොත්තමල්ලි, කහ හා සූදුරුත් අඹරා බටු ගෙඩියක් පමණ ගුළියක් යොදන්න. පමණට ලුණු, ගොරක හා දෙහි ඇඹුල් දමා වතුර පීරිසි කෝප්පයක් දමා ළිප තබා ඉස්ම හිඳෙනතුරු පිසගෙන බත් සමඟ දෙන්න.

*****************

මුකුණුවැන්න මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

 

මුකුණුවැන්න කරටි අවශ්‍ය පමණ

රතුලූනු ස්වල්පයක්

අමුමිරිස් කරල් 1ක්

කරපිංච ඉති 1ක්

උම්බලකඩ මේස හැඳි 1ක්

උළුහාල් ඇට 20ක්

තුනපහ ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

උකු කිරි කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

මැල්ලුමට ලියාගත් ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට මුකුණුවැන්න කරටි කපා සෝදා වළඳකට දමන්න. පසුව රතුලූනු මිටක් අමුමිරිස් කරලක් හා කරපිංච ඉත්තක් ද ලියා ඊට ම එකතු කරන්න. ඉන්පසු උම්බලකඩ කුඩු මේස හැන්දක් ද උළුහාල් ඇට විස්සක් ද අඹරා ගත් මිරිස් තුනපහ (මිරිස් හා සූදුරු කොත්තමල්ලි ආදිය) තලන බටු ගෙඩියක් පමණ ද ලුණු ස්වල්පයක් ද යොදා ළිපතබා, තැම්බුණු පසු උකුකිරි පීරිසි කෝප්ප බාගයක් වක්කොට ටික වේලාවක් ගිය පසු බා ගන්න.

මුකුණුවැන්න මාළුව ඇස් ලෙඩුන්හට හොඳයයි විශ්වාසයක් පවතී.

*****************

කතුරුමුරුංගා කොළ මැල්ලුම

 

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරුමුරුංගා

ඉති 50ක් පමණ

රතුලූනු අහුරු 1ක්

අමුමිරිස් කරල් 1ක්

කරපිංච ඉති 1ක්

උම්බලකඩ කුඩු

ස්වල්පයක්

කුඩා පොල් බෑයක්

දෙහි බෑයක ඇඹුල්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

කතුරු මුරුංගා ඉති පනහක් පමණ ගෙන නැටිත් සමඟ සිහින් ලෙස ලියා සෝදා වළඳකට දමා ලුණු වතුර ස්වල්පයක් ද දමන්න. ඉන්පසු රතුලුනු අහුරක් ද, අමුමිරිස් කරලක් ද, කරපිංච ඉත්තක් ද කපා ඊට දමන්න. පසුව උම්බලකඩ කුඩු ටිකක් ද මිශ්‍ර කොට ළිප තබා ගින්දර දමන්න. පැසුණ පොඩි පොල්බෑයක් සිහින්ව ගා දෙහි බෑයක ඇඹුල් ද දමා අනා ළිප තබා ටික වේලාවක් ගියපසු දිය සිඳී ගියාදැයි පරීක්ෂාකොට බලා සිඳී ගොස් තිබේ නම් කූරු ගා කලවම් කොටගෙන මළවාගන්න. මේ මැල්ලුම ලේ ගමන් වේගය වැඩි අයට හොඳයයි කියති.