කේක් එකට පාට ගොඩයි දෝණි වගේ හැඩකාරයි

සැප්තැම්බර් 8, 2021

 

සුරතල් දියණියකගේ උපන් දිනය වෙනුවෙන් වර්ණ කීපයක් එකතු කරමින් නිර්මාණ කළ කේක් එකකි. සාමාන්‍යයෙන් විචිත්‍රවත් වර්ණවලව දූවරු ආසා නිසා මේ කේක් එකට ඔවුන් බොහෝ කැමැති වේවි.

මේ නිර්මාණය සඳහා වැනිලා කේක් කිලෝ 11/2ක් අවශ්‍ය වේ.

 

කේක් පිටි ග්‍රෑම් 375 ක්

සීනි ග්‍රෑම් 375ක්

මාගරින් ග්‍රෑම් 375ක්

බිත්තර 8ක්

බේකිං පවුඩර් තේ හැඳි 3ක්

වැනිලා තේ හැඳි 3ක්

 

අයිසිං සාදාගැනීම සඳහා

අයිසිං සීනි ග්‍රෑම් 400ක්

බටර් ග්‍රෑම් 175 ක්

 

කේක් එක සාදාගැනීම

 

එහිදී ඉහත සදහන් ද්‍රව්‍ය එකතුකරමින් අප මීටපෙර කියා දී ඇති ආකාරයට වැනිලා කේක් එක සාදාගන්න. කේක් එක හොඳින් බේක් වූ පසු තැටියෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න. ඉන්පසු සාදාගත් බටර් අයිසිංවලින් සම්පූර්ණ කේක් එක කවර් කරගන්න. දැන් වයිට් චොකලට් බට්න් කීපයක් ගෙන එයට කිරි තේ හැඳි දෙකක් පමණ දමා ඩබල් බොයිල් ක්‍රමයට හෝ මයික්‍රොවේව් එකට දමා දියකරගන්න. මෙය තරමක් ඝන මිශ්‍රණයක් ලෙස සාදාගෙන කොටස්වලට වෙන්කර කැමැති වර්ණ දමා කේක් එක මතට රටාවක් ආකාරයට දමා ගන්න.

දැන් එයට උඩින් වෙළෙඳපොළෙන් ලබාගත් ලොලිපොප්, මාස්මෙලෝස් තබා කේක් එක හැඩකරගන්න.

 

 

උපදෙස් -

කේක් නිර්මාණ ශිල්පිනී

හර්ෂණී රණසිංහ