ළමා ලිංගික හිංසනය බලවත් සමාජ ගැටලුවක්

ජනවාරි 2, 2019

ළමා ලිංගික හිංසනය වත්මන් ශ්‍රී ලංකාව තුළ පවතින සැලකිය යුතු සෞඛ්‍යය හා සමාජයීය ගැටලුවක් බවට පත්ව ඇතැයි සේව් ද චිල්ඩ්රන් පදනම මඟින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙරට ළමා හා යොවුන් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් එච්. අයි. වී. ආසාදිතයන් බවට පත්වී ඇතැයි ජාතික ලිංගාශි‍්‍රත හා ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය වාර්තාවක ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතරින් වැඩි දෙනකු පිරිමි සමලිංගිකයන් වන බවත් එම වාර්තාව සඳහන් කරනවා.

2017 වසර තුළ ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති ළමා හිංසන පිළිබඳ පැමිණිලි 9014 ක් අතරින් 501 ක් ම ලිංගික හිරිහැර පිළිබඳ වූ ඒවා බව ඔබ දන්නවා ද? මෙම පැමිණිලිවලින් 340 ක් දූෂණය කිරීම් වන අතර 309 ක් තදබල ලිංගික හිංසා කිරීම් බවත් වාර්තා වෙනවා. මෙම ලිංගික හිරිහැරවලට බොහෝ විට දරුවන් ගොදුරු වන්නේ තමන්ගේ නිවෙස, ඥාති නිවෙස් පාසල් පරිශ්‍ර හෝ නේවාසිකාගාර වැනි තමාට හුරුපුරුදු පරිසර තුළදීම වන බව ඔවුන්ගේ මාපියන් හෝ වැඩිහිටියන් නොදැන සිටීම එහි ඇති කනගාටුදායක තත්ත්වයයි.

තමන්ගේම නිවෙස තුළදී ඇතැම්විට පියා, සීයා, වැඩිමහලු සහෝදරයන් හෝ ඥාතීන්ගේ ලිංගික ගොදුරු බවට දරුවන් පත්වන්නේ මව පියා හෝ භාරකරුවන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන්. මව කාර්යබහුල වීම, අන්‍ය්‍යන්ට දරුවන් රැක බලාගන්නට භාරදීම මෙන්ම මවුවරුන් විදෙස්ගත වීමත් මෙලෙස දරුවන් අනාරක්ෂිත බවට පත් වීමට මුල් වූ කාරණා අතරින් කිහිපයක් පමණයි.

මව විදෙස් ගත වූ පසු බීමත්ව හැසිරෙන පියවරුන් අතින් දූෂණය වී අසරණ වන ඇතැම් විට ළමා වියේදීම ගර්භණී බවට පත්වන දියණියන් ගැන නීති විරෝධී ගබ්සාවන් හේතුවෙන් අකලට මිය යන දියණිවරුන් ගැන අපේ රටෙන් කොතෙකුත් වාර්තා වෙනවා.

කාමුක වැඩිහිටි පිරිමින්ගේ ගොදුරු බවට පත්වන්නේ ගැහැනු දරුවන් පමණක් නොවෙයි. බොහෝ විට පිරිමි දරුවන්ටත් මෙම අවදානම තිබෙනවා. පාසල් වෑන් රථයේ රියැදුරන්, සහායකයන්, පාසලේ ඇතැම් වැඩිහිටි පිරිමි ළමුන් මෙන්ම ඇතැම් අසහනකාරී ගුරුවරුන් පවා නොදරුවන් සිය පහත් ආශාවන් සතපවා ගන්නට යොදා ගන්නවා.

2019/01/02 තරුණි පුවත්පත බලන්න.